මාවතගම පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ උපකරණයක් සොයා ගැනීමට හැකිවූ බව මාවතගම පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ සුවඳ විලවුන් බෝතලයකට සමාන හැඩහුරුවකින් යුත් මෙම උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් මත් ගතියක් ලැබෙන බව අත්අඩංගුවට ගත් සිසුන් ප්‍රකාශ කළ බවයි.පාසල් සිසුන් දෙදෙනාගේ පොත් බෑග තුළ සඟවාගෙන තිබූ මෙම උපකරණ හමුවී තිබේ.
එම සිසුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව ඔවුන්ට ඒවා අලෙවි කළ බව කියන මාවතගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් වටලා සිදු කළ පරීක්ෂාවකදී එහි තිබූ එවැනිම තවත් මත් උපකරණ තුනක්ද පොලීසියට හමුවී තිබේ.
ඒ අනුව සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශයකින් ගෙන්වා ඇති මෙම මත් ද්‍රව්‍ය සහිත උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය සිගරැට්ටුවකට සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් බවද එහි සිගරැට්වල අඩංගු නිකොටින් තිබෙන බව ආවරණ වල සඳහන්ව ඇති බවද පොලීසිය පවසයි.
මාවතගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.













