අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 5,530කට රජයෙන් මාසික දීමනාවක්

2026 වර්ෂය සඳහා වන අයවැය මඟින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීම පිණිස යෝජනා කරනු ලැබුවා.

එම දීමනාව ලබා දීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස දිවයිනේ සියලුම පාසල් වල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති අතර, අයදුම්කරුවන් 5,530 ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව, එම සිසුන් සියලු දෙනා වෙත අදාළ මාසික දීමනාව ගෙවීම පිණිස ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.