නීති විරෝධීව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් සහ නාවික හමුදා මෙහෙයුමකින් අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව වේල්ලවීදිය වෙරළ ප්‍රදේශයේ අද (23) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

මෙම මෙහයුමේ දී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වුණා.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය විසින් මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය සහ එක්ව, මීගමුව වේල්ලවීදිය වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් සහ ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කෙරුණා.

එහිදී, එම ඩිංගි යාත්‍රා මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත්, ලොරි රථයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් දෙසීය හැත්තෑ හයකට (2276) අධික තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, ඩිංගි යාත්‍රා දෙක සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.