රටම හැඬවූ සමන් කුමාර ඝාතනය

මුදල් ලබා ගැනීමේ අරමුණින් හෝ වෙනත් පාපී සිතිවිල්ලක් නිසා, දරුවෙකු ගේ ජීවිතය බිල්ලට දෙන නො මිනිසුන් නිසා සිදුවූ ඛේදවාචක අද වන විට නම් ස්වල්පයක් නොවෙයි.අදටද මෙවැනි සිද්දීන් නිසා ඇඟ කිලිපොලා යන්නේ නොදනුවත්වමයි.

පව්කාරකමකට එවන් සිදුවීම් අසන්නට දකින්නට ලැබෙන සමාජයක අප ජිවත් වන බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.මිනිසුන්ගේ නොමිනිස් ආකල්ප ඒ තරමටම අද සමාජය තුල පැතිරී අවසන්.

අද ඔබට කියන්නේද එවැනි වූ අතීතයේ සිදුවුණු රටම කම්පා වුනු සිදුවීමක් පිළිබදවයි.

සමන් කුමාර යනු තිලකරත්න පවුලේ බාලයා වෙයි.1970 උපන් සමන් පාසල් ගියේ මතුගම සී. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයට යි. එය පිහිටා තිබුණේ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරික ස්ථානය වූ තිලකරත්න ස්ටෝර්ස් සිට පයින් යන දුරකින්.

9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හැදෑරු සමන් කුමාර පන්තියේ දක්ෂ සිසුවෙක්.ගුරුවරු ද ඔහුට දැක්වූයේ ඉමහත් ආදරයක්. ඔහු අරපිරිමැස්මෙන් යුත් දරුවෙක් යයි කීමට හොඳම නිදසුන නම් කවකටු පෙට්ටිය කැඩුණු විට ඔහු එය රබර් පටියකින් බැඳගෙන පාචිච්චි කළා. ඔහු පාසල් යාමට කම්මැලි දරුවෙක් නෙවෙයි.

සමන්කුමාරගේ තාත්තා තිලකරත්න.මතුගම නගරයේ පිහිටා තිබූ කවුරුත් දන්නා කියන වෙළෙඳසැලක් තමයි තිලකරත්න ස්ටෝර්ස්. මෙම වෙළෙඳ සැල සිල්ලර බඩු අලෙවි කළ තොග කඩයක්. වෙළඳසල හිමි තිලකරත්න මුදලාලි ධනවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියා.

පිරිමි දරුවන් තිදෙනකු සහ දියණියන් දෙදෙනකුගෙන් සමන්විත තිලකරත්න පවුලේ බාල පුතා වූයේ සමන් කුමාර යි. සමන් කුමාරට තිලකරත්න මුදලාලි දැඩි සේ ආදරය කළා. ඔහුගේ ලොරි හතරකම සටහන් කර තිබුණේ ද සමන් කුමාර යන නම යි. තිලකරත්න මුදලාලිගේ ව්‍යාපාරික වැඩවලට වැඩිමහල් පිරිමි සහෝදරයන් උදව් කළා. ඒ අතරින් වැඩිපුර ව්‍යාපාරික වැඩවලට හවුල්වුණේ වැඩිමල් පුතා වූ සරත්. සරත්ගේ ගජ මිතුරෙක් තමයි ධර්මසිරි කියන්නේ.

ධර්මසිරි පිළිබඳව මුලින්ම සඳහන් කලේ අවසානයේදී ඔහු මෙම කතාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්වන නිසාවෙනි.

ධර්මසිරි මේ පවුලට ලොකු හිතවත්කමක් දැක්වූ තරුණයෙක්.තම මිතුරාගේ යාළුකම නිසා එය දිනෙන් දින වැඩි දියුණු වූ හිතවත්කමක් මිස කිසිදා අඩුවුවක් නම් නොවෙයි.මතුගම නගරයට ආසන්නයේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගිය ධර්මසිරි ඊට අවශ්‍ය බඩු බාහිරාදිය ලබාගත්තේ තිලකරත්න මුදලාලිගේ තොග කඩයෙන්.

තිලකරත්න නිවසෙන් ලැබෙන ආහාර පාන සහ වෙනත් උවමනා එපාකම් ඔහු භුක්ති වින්දේ පවුලේ අයෙකු ලෙස යි. සමන් ඔහු ඇමතුවේ මාමා යනුවෙනි.

මේ අඳුරු දිනය 1984 අප්‍රේල් 5 වැනි දා යි. සිරිත් පරිදි අවදි වුණු සමන් කුමාර, ඉස්කෝලේ යන්න ලෑස්ති වෙමින් හිටියා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩුව පටන් ගැනීමට නියමිතව තිබුණේ එදිනයි. සමන් අධ්‍යාපනය ලබමින් සිටියේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ නම වෙනි ශ්‍රේණියේ.

එදා තිලකරත්න මුදලාලි හාමිනේ එනම් සමන්ගේ මව කාමරයට එන විට සමන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙමින් සිටියා.

“අද ඉස්කෝලේ යන්න ඕනම ද ? ඔන්නොහේ ගෙදර ඉන්න..”

පළමු වාරයේ අවසන් දිනය නිසා එදා ඉස්කෝලේ ඉගැනීමක් නම් සිදු නොවෙන බව සමන් වගේම, සමන්ගේ අම්මා තිලකරත්න මුදලාලි හාමිනේත් දැනගෙන හිටියා. ඒ සමන් එදා ඉස්කෝලේ ගිහින් තේරුමක් නැහැ වැනි මොකක්දෝ දෙයක් අගේ සිතට එක්වරම ආ නිසා.

“හෙට ඉඳන් නිවාඩුනේ අම්මේ…” කියමින් ලැහැස්ති වුණු සමන්, පාසල් යන්න ගෙදරින් එළියට බැස්සා.

ඒ වෙද්දී සමන්ගේ දෙවැනි වැඩිමල් සොහොයුරා වුණු ආනන්ද තිලකරත්නත් ගෙදර හිටියා. ලොකු අයියා සරත් වගේම, තාත්තත් ඒ වෙද්දී ගෙදර හිටියේ නැහැ.

“අද මොකද බං ඉස්කෝලේ යන්නේ…නිකං රස්තියාදු ගහන්න නේද?” එළියට බහින පොඩි මල්ලි සමන්ගෙන් ආනන්ද අයියා ඇහුවා.

සමන්ට පොඩි බයිසිකලයක් තිබුණා. පයින් යන දුරින් තිබුණු ඉස්කෝලෙට යන ගමනේ ටික දුරක් සමන් යන්නේ මේ පොඩි බයිසිකලේ. බයිසිකලෙන් තිලකරත්න ස්ටෝර්ස් දක්වා යන සමන්, බයිසිකලේ එතන දාලා ඉතුරු ටික දුර පයින් ඇවිදගෙන යන එක සිරිතක්.

එදත් පුරුදු විදිහට ම සමන් බයිසිකලේ අරගෙන ගිහින් තාත්තගේ කඩේ නවත්තලා පයින් යන්න පටන් ගන්නවා.

ඉඉට කීප වෙලාවකට පසු නිවසට පැමිණි ධර්මසිරි ගමනක් යාමට තිබෙන බව කියා සමන්ගේ අයියා වූ සරත්ගෙන් බයිසිකලය ඉල්ලා ගත්තා. ඊට පසු ඔහු එය පැදගෙන පා ගමනින් පාසල් යන සමන් අසලට ගියා. පොඩි ගමනක් යන්න තියෙනවා. සමන් අපට උදව්වට පොඩ්ඩක් එන්න යයි කියූ විට සමන් පොත් බෑගයත් අරගෙන පාපැදියට නැගුණා.

පාපැදිය රැගෙන ධර්මසිරි එය පැද්දේ බෝපිටිය කන්ද පැත්තට යි. ඒ රබර් වතු, කැලෑ මන්ඩි සහිත කිසිවෙක් නොපැමිණෙන පාලු පැත්තක්. ඔහුගේ ඥාතියෙක් වන පුද්ගලයෙක් ද එහි පැමිණ සිටියා. කඳු මුදුනට ගිය විට කුඩා සමන්ට තම පවුලේ හිතවතා ගැන සැකයක් උපන්නා.

ගමන අතරමගදී එවන් සැකයක් නොඑන්නට තරම් ධර්මසිරි මේ පවුල සමඟ බැඳීමක් ඇති කරගෙන තිබුණා.කිසිවෙකුට සැක නොහි තෙන්නට ධර්මසිරි එදිනම දවල් 11.00ට පමණ රැගෙන ගිය බසිසිකලය සරත්ට නැවත ගෙනත් දී තිබෙනවා.

සිද්ධිය ආරම්භ වන්නේ මින් පසුවයි.එදිනම දවල් 12.00ට අසල්වැසි නිවසක සිටි ද්‍රවිඩ මෙහෙකාරියකට නාඳුනන කිසිවකු ලියුමක් ගෙනත් දී තිබුණේ තිලකත්න මුදලාලිට දෙන ලෙස පවසමින්. ලියුම් කවරයේ ලිපි දෙකක් තිබුණා. එකක සමන් කුමාර අත්අකුරින් ලියා තිබුණේ අනේ තාත්තේ ඉල්ලන අයට සල්ලි දීලා මාව බේරාගන්න කියල යි. අනෙක් ලිපියේ වූයේ සමන් නිදහස් කර ගැනීමට නම් ලක්ෂ එකහමාරක කප්පමක් අවශ්‍ය බව යි.

කප්පම නොගෙව්වොත් සමන් මරා දමන බව ද කප්පම කියන දිනයට කලවාන නාවලකන්ද විදුහලේ 2 ශ්‍රේණියේ පන්තියේ තබන ලෙස ද ලියා තිබුණා.

දරාගත නොහැකි කලබලයක් ඇති වූ මුදලාලි වහාම පාසලෙන් ඇසුවේ සමන් අද පාසල් ආවද යන්නයි.නමුත් ඔහුට දැනගන්නට ලැබුණේ සමන් එදින පාසල් නොපැමිණි බව යි. සිද්ධියේ ඇති බැරෑරුම් බව සහ තම පන සමාන පුතුට කරදරයක් වේ යයි බියෙන් ඔහු මේ ගැන පොලීසියට කිව්වේ නැහැ.

සමන් පහර ගත් බව සල වීමත් සමඟ තිලකරත්න මුදලාලිගේ නිවසට ගමේ ම සෙනඟ ගෙදර රැස්වීම වලක්වන්න නොහැකි වූ දෙයක්.
“කවුරුත් බය වෙන්න එපා… කප්පම් සල්ලි මම අරන් යන්නම්…” එහෙම කියන්නේ රැස්වෙලා හිටපු සෙනඟ අතරේ හිටපු ධර්මසිරි.

“මම කීයටවත් කප්පම දෙන්නේ නැහැ. අද මම මේ කප්පම දුන්නොත්, හෙට මේ වැඩේම වෙන ළමයෙකුට කරයි. ඒ නිසා මම කප්පම දෙන්නේ නැහැ… ” තිලකරත්න මුදලාලි ස්ථිර ලෙස ම කියා සිටිනවා.

“කප්පම දීලා ළමයා බේරාගමු…” කියන මතයේ තමයි හුඟක් දෙනා ඒ වෙලාවේ ඉන්නේ. ධර්මසිරිත් ඒක පුන පුනා කියනවා.

කිසිම දවසක කොහොම වුනත් නො දන්න වාහනේක නගින්න එපා. නො දන්න අය එක්ක කොහෙවත් යන්න එපා යනුවෙන් සමන් ට නොයෙක් වර අවවාද කර තිබුණු බව තිලකරත්න මුදලාලි හොඳින්ම දන්නා අයෙක් නිසා සහ දරුවා එය පිළිපදින බව දන්නා නිසා ඒ වෙලාවේ ඔහු කිව්වේ

“ළමයා නො දන්න අය එක්ක කොහෙවත් යන ළමයෙක් නෙමෙයි. ගියොත් යන්නේ දන්නා කෙනෙක් එක්ක විතරයි…” යනුවෙන්.

එක්වරම සමන්ගේ අයියලා දෙන්නා වුණු සරත් සහ ආනන්දට තවත් දෙයක් ඇස ගැටෙනවා. ඒ තමයි උදේ බයිසිකලය අරන් යද්දිත්, ආපහු භාර දෙද්දිත්, මුහුණ පුරා රැවුලක් වවාගෙන හිටපු ධර්මසිරි මේ වෙද්දී රැවුල සම්පූර්ණයෙන් ම මුඩු කර ඇති බව.නමුත් ඔවුන් මේ පිලිබදව කිසිදු තැකීමක් සිදී කරන්නේ නෑ.

සමන්ගේ තාත්තා මේ සිද්ධිය පොලිසියට නොදන්වූ නමුත් සිද්ධිය පොලිසියට ආරංචි වී තිබුණා. මතුගම එවකට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිව සිටි පියල් බරණගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමන් කුමාර සිසුවාගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භකරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඉන්ද්‍රජිත් අමරසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින්.

තවත් ලිපියක් මඟින් සමන්ගේ පියාට කප්පම්කරුවන් දන්වා තිබුනේ කප්පම් ගෙවීමට කැමති නම් තමාගේ වෙළන්දසැලේ පිටත බල්බය දමා තියන්න යයි කියායි.කප්පම ගෙවීමට කැමති බව මුදලාලි ඇඟවූවා. ඒ අතර තවත් පිරිසක් නාවලකන්ද විදුහලට ගොස් දරුවාට හිරිහැර නොකරන ලෙස පියා ලියූ ලිපියක් තබා ආවා.මේ සිදුවීම මේ වනවිට රට පුරාම පැතිරී අවසන්. ජනමාධ්‍යවලින් මේ පුවත පුන පුනා ප්‍රචාර කළා. සමන් කුමාර ගැන මුළු රටම කම්පා වුණා.

මෙලෙස දින ගතවී ගියා.සැකකටයුතු සාක්ෂියක් ලැබෙන තුරු පොලිසිය සිටියේ නොඉවසිල්ලෙන්.එදින උදා වුනා.තවත් ලියුමක් තැපෑලෙන් ලැබී තිබුණා. එම ලියුම තැපැල් කර තිබුණේ මතුගම නගරයේ තැපැල් කන්තෝරුවෙන්. කප්පම් මුදල් ඉල්ලීම ගැන පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් තර්ජනය කර තිබූ අතර කප්පම් මුදල තැබිය යුතු තැන පසුව දැනුම් දෙන බවත්, මේ ගැන ආයෙත් පොලිසියට කිව්වොත් දරුවා මරා දමන බවටත් එම ලියුම මඟින් තර්ජනය කර තිබුණා.මිට පවුලේ පිරිස කලබල වුනත් පොලිසිය මෙහෙයුම් දියත් කරනු ලැබුවා.

මේ අතරදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධව ධර්මසිරි එම පවුල සමග හිත යටින් අමනාපව සිටි බව පොලීසිය සොයා ගත්තා.

මුදල් ලබාදීමට තිලකරත්න මුදලාලි එකඟ වුව ද සමන් කුමාර සිටින බවට තොරතුරක් කප්පම්කරුවන්ගෙන් ලැබුණේ නැහැ. පොලීසිය ධර්මසිරි ගැන සැක කළා. පවුලේ අය කිව්වේ ඔහු ගැන සැකයක් නැති බව යි. එහෙත් ඊට පසු පොලිසිය ඔහු ගැන උකුසු ඇස යොමු කළේ කාටත් හොර රහසෙන්.

එක වරම පොලිසියට ධර්මසිරි මතුගම තැපැල් කන්තෝරුවේ සිටි බවට ඔත්තුවක් ලැබුණා. තැපැල් කන්තෝරුවට ගිය පොලීසිය එදින තැපැල් කළ ලියුම් පරීක්ෂා කර බැලුවා. දෙයියෝ සාක්කි !!!
තිලකරත්න මුදලාලිට ඔහු යැවූ ලිපියක් එහි තිබුණා. සැකය නිවැරදි බව පොලිස් පරීක්ෂකයන්ට වැටහුණා. තිලකරත්න මුදලාලිගේ නමට තැපැල්කර තිබූ ලියුම කඩා බලද්දී එහි සඳහන් කර තිබී ඇත්තේ කප්පම් මුදල රැගෙනවිත් තැබිය යුතු ස්ථානය ගැන යි.

පොලිස් කණ්ඩායමක් වහා ගොස් මතුගම පාන්තිය ප‍්‍රදේශයේ පදිංචි බී. ධර්මසිරි පීරිස් (24) නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා.ඔහි සියල්ලම වමාරන්නට පටන් ගත්තේ එවිටයි. ඔහු කීවේ තම මස්සිනා කෙනකු වන නාවලකන්දේ පේමරත්න ළඟ සමන් රඳවා සිටින බව යි. පොලිසිය ඊළඟට අත්අඩංගුවට ගත්තේ පේ‍්‍රමරත්න (23) නමැත්තා යි. මේ දිනය අප්‍රෙල් 8 වැනි දා යි. යළිත් ධර්මසිරි පොලීසියට පවසන්නේ සමන් පාන්තියේ බෝපිටිය කන්දේ රඳවා සිටින බවයි.දරුවා නොමැති නිසා ඇඩු කඳුලින් කල් ගෙවූ පවුලේ අයට මෙය බලාපොරොත්තුවක් වුනු අතර සියල්ලන්ම ධර්මසිරිට සාප කළා.

පාසල් යමින් සිටි සමන් කුමාරව ධර්මසිරි විසින් බෝපිටිය කන්දට රැගෙන ගොස් කියා ඇත්තේ තමන් බේරා ගැනීමට අවශ්‍ය නම් මුදල් දෙන ලෙස කියා ලියුම් හතරක් ලියා දෙන ලෙස යි. පොත් බෑගයේ තිබූ කොපි පොතකින් කඩාගත් කොළවල ලියුම් තුනක් සමන් ලියා දුන්නත් ඉතිරි ලියුම ලියා නැහැ.මේ නිසා කේන්තිගත් ධර්මසිරි එවිට කළේ කුඩා සමන් කුමාරට පහරදීම යි.

පහරදීමෙන් සහ බෙල්ල මිරිකීමෙන් මෙන්ම දැඩි ලෙස තුවාල වීමෙන් සමන් සිහිසුන් වෙනවා. ඊට පසු ධර්මසිරි සහ පේමරත්න සමන්ගේ පාසල් බෑගයත් රැගෙන බයිසිකල්වල නැගී ධර්මසිරිගේ නිවසට එනවා.ඔවුන් ඉතාමත් සුක්ෂමව පාසල් බෑගය එම ඉඩමේ වළලනවා. යළිත් නැවත කන්දට යන ඔවුන් සිහිසුන්ව සිටි සමන් පැළඳ සිටි සපත්තු ගලවා එහි ලේස් පටියකින් ඔහුගේ බෙල්ල හිර කරනවා. ඊට පසු මළ සිරුර රබර් ගස් ගැලවීමෙන් ඇතිවූ වළකට තල්ලු කරනවා. තිලකරත්න මුදලාලිට සමන්ට කියා ලියවාගත් ලියුම් ද සහිතව කප්පම් ඉල්ලා ලිපි යවන්නේ ඉන් පසුව යි. ඒ අතර සැකයක් ඇති නොවන සේ සමන් සෙවීමේ කටයුතුවලට ද ධර්මසිරි එකතු වෙනවා.

මේ අතර සමන් ධර්මසිරි සමග යන බව දුටු දැරියක් විසින්ද පොලිසියට සාක්ෂි ලබා දෙනවා.

කුඩා සමන් පැළඳසිටි සපත්තු යුවලේ දකුණුපස සපත්තුවේ තිබූ ලේස් ලිටියෙන් සමන්ගේ ගෙල සිරකර තිබුණි.
දෑතට විලංගු දැමූ ධර්මසිරි සහ පේමරත්න ද සමග පොලීසිය, ඥාතීන් සහ හිතවතුන් ද සමන් කුමාර සොයා මහ රෑ පාන්තිය බෝපිටිය කන්ද වෙත සියල්ලන් සමඟ යනවා.අවසානයේ ධර්මසිරි සමන් සිටින තැන පෙන්වනවා. වළකට දමා තිබූ, ම්ලේච්ඡ ලෙස වධ දී ඝාතනය කර ඇති නරක වී ගිය සිරුර ඔවුන්ට දැකගත හැකි වනවා.

සමන් කුමාරගේ සිරුර හමුවීමත් සමඟ පොලිතින්වලින් එතූ මළ සිරුර සමන් කුමාර නැමැති නම ගැසූ තිලකරත්න මුදලාලිගේ ලොරියෙන්ම බොරැල්ල මෘත ශරීරාගාරය වෙත ගෙන එද්දී මතුගම අවට දහස් සංඛ්‍යාත ජනතාව මඟ දෙපස රැදී සිටියේ දැඩි කම්පාවෙන්.මෙය ,මුළු රටම කම්පා කෙරුවක්. අපරාධකරුවා දැක බලා ගැනීමට මතුගම උසාවිය අසලටත් මහ සෙනග එක් රොක් වී සිටියා.

සමන් කුමාර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ එවකට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු යි. මේ මරණය ගෙල මිරිකීම නිසා හුස්ම හිරවීමෙන් සිදුවී ඇති බව ඔහුගේ නිගමනය වුණා.

නඩුවේ තීන්දුව ලැබෙන්නේ 1987 වසරේ දී.

එදා ධර්මසිරි, පාසල් සිසුවෙකුව නංවාගෙන බයිසිකලයකින් කළුතර දෙසට යනු දුටු බව ප්‍රකාශ කළ දැරියද ඇතුළුව සාක්ෂිකරුවන් තිස් පස් දෙනෙකුගේ සියලුම සාක්ෂි මෙහිදී විමසා බැලෙනවා.

විත්තිකරුවන් දෙදෙනා ම, සමන් කුමාර පැහැරගෙන යාම, කප්පම් ඉල්ලීම සහ ඝාතනය යන චෝදනාවලට වරදකරුවන් වීමෙන් ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණා.ඔවුන් උසාවියේදී සියල්ල හෙළි කරනු ලැබුවා .

මෙම විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාරයේදී අනෙක් සිරකරුවන්ගේ දැඩි පහරදීම්වලට ලක් වුණා.
ඔවුන් දෙදෙනා ම පසුකාලයේ මේ අපරාධය ගැන ඉතාමත් දරුණු ලෙස පසු තැවෙමින් කාලය ගත කළ බව සඳහන් වෙනවා.

ඉතාමතම මිහිරි ලෙස පිරිත් කීමේ හැකියාව තිබු ඔවුන් බන්ධනාගාරදී දැඩිව ආගම දහමට නැඹුරු වී තිබුණා.

පිටිගලගේ ප්‍රේමරත්න එනම් ධර්මසිරිගේ මස්සිනා අසනීප තත්ත්වයකින් බන්ධනාගාරයේදී ම ජීවිතයෙන් සමුගන්නවා.

බී. ඒ. ධර්මසිරි පීරිස් විසි වසරකට පසු නිදහස් ව පැමිණ අප්‍රකට ව වාසය කරනවා.ඔහු දැඩි ලෙස කලකිරීමකට පත්ව සිරි බව සදහන්.

සිරගතව සිටි කාලය පුරාවටම ඔවුන් දෙදෙනාව බැලීමට ඔවුන්ගේ පවුල්වල කිසිවෙකුත් පැමිණියේ නැහැ.

සමන්ගේ මවත් පියාත් මේ වනවිට ජීවිතයෙන් සමු අරන්.සහෝදරයන් ජිවතුන් අතර සිටියි.

එදා සමන් කුමාර නඩුවේ සාක්ෂි දුන් සාක්කිකාර දැරිය අද පොලිස් කාන්තාවක් ලෙස කටයුතු කරනවා.
පසු කාලයක මේ සිදුවීම ඇසුරෙන් ඇන්ටන් ජෝන්ස් මහතා විසින් ‘පන්තියේ පළවෙනියා වුණේ සමන් කුමාර’ ගීතය ගායනා කරනවා.

4gkec2Lg8wllzAvW 3
ROtdlUtZQOJdUQZK 4

සටහන-(මූලාශ්‍ර ඇසුරෙන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
6
මාර දුකයි !
155
මලපනිනව !
12
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?