යුක්රේනයේ යුද්ධයට මැදි වූ ලාංකේය සිසුන්

ඔබ මේ ලිපිය කියවන මොහොත වනවිට කුමක් සිදුවී ඇතිදැයි නොදනිමු. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමානුෂික යුද ගැටුමකි. අප මේ ලියන මොහොත වනවිට සැතපුම් හතළිහක් දුරට දිව ගිය ලෝකය බියපත් කළ රුසියානු සන්නද්ධ රථ පෙළ යුක්රේන අගනුවර කියෙව් අසලය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ දස ලක්ෂයකට ආසන්න සිවිල් වැසියන් සිය ගම්බිම් හැර පලා ගොස් ඇති බවය. පැයෙන් පැය වෙනස්වෙමින් බිහිසුණු ව්‍යසනයක් කරා යමින් ඇති දෙරටක ඇවිළුණු ඒ යුද්ධයට කොටු වී සිය දරුවන් යුද වින්දිතයන් වනු ඇතැයි සිතා තැතිගත් මවුපියවරු පිරිසක් මේ රටේ වෙති. ඔවුන්ගේ දරුවන් ඉන්නේ යුක්රේනයේ නොවේ. යුක්රේනයේ නම් ශිෂ්‍යයන් හෝ ලාංකේයන් අනතුරෙහි නැති බව විදේශ අමාත්‍යාංශය තහවුරු කරන්නේය.

විදේශ අමාත්‍යාංශ දත්ත ප්‍රකාරව යුක්රේනයේ සිටියේ ශිෂ්‍යයන් ලෙස ලියාපදිංචි පුද්ගලයින් 14කි. ඉන් 08ක් යුද්ධය ආරම්භ වීමට පෙර රටින් පිට වී ඇත. ඉතිරි හය දෙනා ද පිටවීම සඳහා ගුවන් ටිකට් පත් ලබාගෙන තිබිණි. යම් බාධා සහිත තත්ත්ව තුළ පිටවීම තහවුරු කරගත නොහැකි වූ ශිෂ්‍යයන් තිදෙනෙක් මේ වනවට සිටින්නේ යුක්රේන දේශසීමා පැන පෝලන්ත තානාපති කාර්යාලයේ රැකවරණය ලබමිනි.

පෝලන්ත හා තුර්කි තානාපති කාර්යාලයේ තොරතුරු අනුව යුක්රේනයේ ශ්‍රී ලාංකේයන් 75 -80ත් අතර ප්‍රමාණයක් වාර්තා වී ඇති බව විදේශ අමාත්‍යාංශය කියයි. එයින් 22දෙනෙක් යුක්‍රේන පුරවැසි භාවය ලැබූ අයය. තවත් දහයක් තාවකාලික පුරවැසිභාවය සහිත පුද්ගලයන්ය. ශ්‍රී ලාංකේයන් බවට තහවුරු කරගත හැකි ලිපි ලේඛන සහිත පුද්ගලයන් ගණන 50කට අඩුය. ඔවුන් ද මේ වනවිට ගැටුම් කලාපයෙන් පිටවී පැමිණ සිටිති.

බෙලරූස්හි ලාංකේය සිසුන්

ඇවිළෙන යුද්ධයට වින්දිතයන් වනු ඇතැයි උපකල්පිත ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවක් සහිත රට බෙලරුස්ය. ඒ රටෙහි ලාංකේය සිසුන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල පහකි. ගොමෙල් වෛද්‍ය විශ්වවිද්‍යාල, ග්‍රොඩ්නෝ වෛද්‍ය විශ්වවිද්‍යාල, විටෙස්බර්ක් වෛද්‍ය විශ්වවිද්‍යාල, බෙලරූස් වෛද්‍ය විශ්වවිද්‍යාල, යංකි කුපාලා විශ්වවිද්‍යාලය ඒ අතරය. වෛද්‍ය විද්‍යාව හා ඊට අනුබද්ධිත විෂයයන් හදාරන සමස්ත ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව1674ක් බෙලරූස්හි වෙති. සටන් ඇවිළෙන යුක්රේන දේශ සීමාවේ ඇති ගොමෙල් සරසවියේ ශ්‍රී ලාංකේය ශිෂ්‍යයෝ 161ක් වෙති. අඩුම තරමින් දැනට ඔවුන් අනතුරක මුව විටය. ඒ මවුපියන් කම්පනයෙනි.
එක් පසෙකින් යුක්රේනයටත් අනෙක් පසින් රුසියාවටත් මායිම් වී ඇති බෙලරුස් මේ වන විට රුසියාවට පහසුකම් සපයන රාජ්‍යයක් ලෙස බටහිර නිර්වචනය කර තිබේ. ඒ හේතුවෙන්ම යුක්‍රේන රුසියා යුද්ධය හා බෙලරුස්හි ලුකෂෙන්කෝ පාලනය නිමිත කරගෙන යුරෝපා සංගමය, මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් බෙලරුසියාවට එරෙහිව මේවන විටත් ආර්ථික සම්බාධක ද ඇතුළුව දැඩි සම්බාධක පනවා ඇත. මේ වනවිටත් යම් ආර්ථික බිඳවැටීමක ලකුණු පෙනෙමින් ඩොලරයට සාපෙක්ෂව බෙලරුසියානු රූබලය පහළ වැටෙමින්ය. ගුවන් ගමන් සීමාවන ලකුණු පෙනේ. ලංකාවේ අම්මලා තාත්තලා බෙලරූස්වල තමන්ගේ දරුවන් ගැන සාධාරණ බියක් උපදවා ගන්නේ මේ පසුබිමේ දී ය.

මනෝහර දිසානායක බෙලරූස්හි අධ්‍යාපනය ලබන සිසුන්ගේ මවුපිය සංගමයේ සභාපතිය. ඔහු මේ යුද්ධය නිසා ඇති කළ කම්පනය තාත්තා කෙනෙක් ලෙස අප සමඟ කීවේය.

“ඔව්.. අපි දන්නවා. බෙලරූස් සාමකාමීයි. ළමයි අධ්‍යාපන කටයුතු කරනවා. මගේ දියණිය ඉගෙන ගන්නේ ග්‍රොඩ්නෝ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ මේ වනවිට සරසවියේ කුලපතිතුමා සහ දරුවන් විශ්වවිද්‍යාලයට යොමු කළ ආයතනයේ ප්‍රධානියා සමඟ කතා කර තිබෙනවා. ජනාධිපති තුමාට අපේ ප්‍රශ්නය කියලා තිබෙනවා. ගරු අගමැති තුමා හමුවෙලා කතා කර තිබෙනවා. රටේ රාජ්‍ය නායකයන්ගෙන් ලැබිය හැකි අතිශය මානුෂික ඉහළම ප්‍රතිචාරයත් සහිතවයි මේ කතා කරන්නේ.

නමුත් මේක මොහොතින් මොහොත වෙනස්වන යුද තත්ත්වයක්. දැනට ගැටලුවක් නැති වුණාට අප දකිනවා සම්බාධක වැටෙමින් පවතින පසුබිමක වෙන දේ සංකීර්ණයි. බැංකු පද්ධති අකර්මණ්‍ය වුණොත් සිදුවිය හැකි දේ සංකීර්ණයි. දැනටමත් ඩොලරයේ අගය ඉහළ ගිහින්. ගුවන් ගමන් බෙලරූස්වල නවත්වලා. “ ඔහු කියන්නේය.

“ මේ වනවිට වර්ෂාවසාන විභාගය සඳහා දරුවන් අධ්‍යාපන කටයුතු කරනවා. ඔවුන්ට බාහිර ලෝකය ගැන අවධානය අඩුයි. අප දන්නවා මේ න්‍යෂ්ටික ආයුධ පරිහරණයට පරිවර්තනය විය හැකි අවධානමක් සහිත යුද්ධයක්. ඉතින් අපේ දරුවන් කෙරෙහි අපට තිබෙන තිගැස්ම සාධාරණ නැද්ද“ මේ පියා අපගෙන් විමසයි. ඔහු පවසන්නේ තිබෙන විශාලම සහනය මේ ප්‍රශ්නය සම්බන්ධව රජය ඉතාම සංවේදීව ක්‍රියා කිරීම බවය.

සටන් ඇවිළෙන යුක්රේන දේශ සීමාවේ ඇති ගොමෙල් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියකගේ පියකු සමඟ කතා කළෙමු.

“ දරුවො ඉතාම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. ඔවුන් අපට පෙන්වන්න උත්සාහ කරන්නෙ නෑ. ඒත් තාත්ත කෙනෙක් විදිහට මට මගෙ දුවගෙ හිතේ තිබෙන බය දැනෙනවා. අපි මොස්කව් තානාපති කාර්යාලයට සහ අපේ නියෝජිත ආයතනය සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. අනපේක්ෂිත දෙයක් සිද්ධ වුණොත් මොනවා වෙයිද දන්නෙ නෑ. දැන් තියෙන්නෙ පරණ යුද්ධය නෙමෙයි. මේක තාක්ෂණික යුද්ධයක්; අහිතකර ප්‍රතිවිපාක වැඩියි.

කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. තියෙන්නේ මේ අවධානම ගන්නවද නැද්ද කියන එක. දැනටමත් මේ දරුවො ඕන කෙනෙක්ව ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්. ඒත් අධ්‍යාපන කටයුතුවල සිදුවන අතපසුවීම එක්ක ජීවිතයේ සිදුවන පසුබෑම දරුවා විසින් ගත යුතුයි. නමුත් තාත්ත කෙනෙක් විදිහට මට හිතෙන්නෙ මේ වෙලාවෙ මගෙ දරුවා මා එක්ක හිටියොත් හොඳයි කියලා.“

කවිශ්කි විතානාච්චි ග්‍රොඩ්නො රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ සිවුවන වසරේ සිසුවියකි. ඇයත් සමඟ ශ්‍රී ලාංකේය සිසුන් 718ක් ග්‍රොඩ්නෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේය. ඇගේ පියා වන ජගත් විතානාච්චි අපට ඔහුට තිබූ තිගැස්ම කීවේය.

පහුගිය දවස්වල දරුවා ගෙන්න ගන්න ඕන කියන අදහසේ හිටියෙ. දරුවො කිව්වෙ එහෙම ආවොත් අධ්‍යයන වර්ෂයට ප්‍රශ්නයක් ඇතිවෙනවා කියලා. බය වෙන්න එපා කියලා විශ්විද්‍යාලයත් කියනවා. ළමයි තිගැස්මෙන් හිටපු එකත් දැන් නෑ. ඔවුන් මේ ප්‍රශ්නය කළමනාකරණය කරගෙන තිබෙනවා. ඔහු කියන්නේය.

එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන තවත් වෛද්‍ය සිසුවියකගේ මවක්, අම්මා කෙනෙක් තුළ මේ මොහොතේ ඇතිවන ගින්දරේ තරම තර්කානුකූලව අපට කීවාය.

“ඇත්ත… මේ මොහොතෙ බෙලරූස්වල කිසිම ප්‍රශ්නයක් නෑ. ඉන්නෙ සාමාන්‍ය පරිසරයක. ඒත් බලන්න… ලෝකය අපට කියනවා ඇහෙන්නෙම රුසියාව, බෙලරූස් සහ යුක්රේනය ගැන. දවස් දෙකකට කලින් ඒ ගොල්ලො හැසිරුණු විදිහෙන් නේටෝ ප්‍රහාරයකට ලක්වෙන්න සියයට පනහක සම්භාවිතාවක් උද්ගත වුණේ නැද්ද? ඊයෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානය රුසියාව හෙළා දැකලා ගෙනාපු යෝජනාවෙ රුසියාවට පක්ෂ රටවල් 05 අතරෙ බෙලරූස් හිටියා. අපට සාධාරණ බයක් තිබෙනවා. යුද වාතාවරණයක් ආවොත් අපේ දරුවන් අතරමං වෙනවා. මගෙ දරුවා මම ගෙන්වා ගන්නවා. උපාධිය සම්පූර්ණ කරන්න අවුරුද්දක් පහුවේවි. ඒත් එයා ජීවිත කාලයක් ආරක්ෂා වේවි.

“ඒ නිසා අපි ඉල්ලීමක් කළා මේ තිබෙන සාමකාමී පරිසරය ඇතුළෙ අපට හදිස්සියක් වුණොත් මොස්කව්වලින් හරි පෝලන්ඩ් බෝඩර්වලින් හරි ළමයින්ට ක්‍රොස් කරන්න දෙන්න කියලා. ඒ රටේ නීතිය අනුව බෝඩර් ක්‍රොස් කරන්න බෑ. ප්‍රධාන නගරය හරහා තමයි යන්න ඕන. රටින් පිටවෙන්න ‘එක්සිට් වීසා’ එකක් තියෙන්න ඕන. එක්සිට් වීසා එක නැතිව රටින් එන්න බෑ.“

“ඒත් මේ වගේ තත්ත්වයක් අවාම මානුෂික ප්‍රශ්නය උඩට එනවා. අපි දරපු වෙහෙස සාර්ථක වුණා. අගමැතිතුමා මැදිහත් වෙලා කිව්වා පෝලන්තයට සහ මොස්කව්වලට රාජ්‍ය තාන්ත්‍රිකව මේ අවස්ථාවට මැදිහත් වෙන්න කියලා.“

අපි ඉල්ලා සිටින්නෙ අධ්‍යයන කාල සටහන වෙනස් කරලා මාස දෙකකට අපේ දරුවන්ට එන්න දෙන්න කියලා. රට සාමකාමී මොහොතක තමයි තීන්දු ගන්න ඕන. මට හිතෙන විදිහට යුක්රේන්වල හිටපු ඉන්දියාවෙ දරුවන්ට වුණෙත් මේකම තමයි. යුද්ධයක් ආවට පස්සේ ඒ අයට කරන්න දෙයක් නෑ.

“මට හිතන්නෙ අපේ දරුවො උගුලකට අසු වෙලා ඉවරයි. ඔවුන්ට කළ හැකි දෙයක් දැන් නෑ. ජීවිත අවදානම අරගෙන අධ්‍යයන කටයුතු ඉවර කරගන්න ඔවුන්ව පොලඹවනවා. මේ තත්වය උඩ අපි අන්තම අසරණයි. අපව යැවූ නියෝජිත ආයතන අධ්‍යයන කාල සටහන් මාස දෙකක් වෙනස් කරලා මේ දරුවන්ව රටින් පිට කරන්න මේ අවස්ථාවෙදි අවශ්‍ය මැදිහත් වීම කළ යුතුමයි. ඇය කියන්නීය.

ගොමෙල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ සභාපති භවන්ත දිල්ශාන් ධර්මත්න ය. භවන්ත දැනට අවසන් වසරේ වෛද්‍ය ශිෂයෙකි.

“ මම ගොමෙල්වල අවුරුදු 05ක් ඉන්නවා. අවුරුදු හතරම මම හිටියෙ මේ සරසවි නේවාසිකාගාරයේ.” මේ පරිසරය ඔහුට මේ වනවිට සිය ගම්පළාත වන දෙල්ගොඩ තරමටම හුරු බව අපට හැඟෙන්නේ භවන්තගේ කතාවෙනි.

“ දේශ සීමා නගරයක් තමයි. ඒත් දේශ සීමාව තිබෙන්නෙ අපේ විශ්ව විද්‍යාල පරිශ්‍රයට වඩා කිලෝ මීටර 220කට දුරින්. පේන තෙක් මානයක දැනට කිසිම අනතුරක් නෑ. දැන් අප ගත කරන්නෙ ඉතාම සාමාන්‍ය ජීවිතයක්. සාමාන්‍ය ආකාරයට සරසවි පවත්වාගෙන යනවා. ළමයින්ට දැනෙන එකම ප්‍රශ්නය දැනට මුදල් ලබා ගැනීමෙදි විතරයි. පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගන්නකොට තිබෙන යම් යම් අපහසුතා. අදාළ පේමන්ට් එක කරන්න පුළුවන් කාර්ඩ් මඟින්. මේ යුද්ධය පටන් අරන් සතියක් ඇතුළෙ රූබලයේ අගය පහතට වැටෙනවා. ඩොලර් අගය වැඩි වෙනවා. මේ රටේ තිබෙන ඩොලර් ප්‍රශ්නය නිසා අධ්‍යයන ගාස්තු ගෙවා ගන්නවත් ඩොලර් නිකුත් නොවන ගැටලුවක් නම් තිබෙනවා.. “ ඔහු කියන්නේය.

“ගොමෙල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති ලෙස මා රුසියානු තානාපති කාර්යාලය සහ විශ්වවිද්‍යාලය සමඟ ඍජුව කතා කර තිබෙනවා. හදිසි අවස්ථාවක් ඇතිවුණොත් කළ යුතු දේ ගැන සැලැස්මක් තිබෙනවා. අපට ආසන්නම පිටවීමේ මාර්ගය වැටෙන්නෙ මොස්කොව් හරහා. හදිසි අවස්ථාවක දී නාදවන එලාම් සිස්ටම් එකක් තිබෙනවා. හොස්ටල් එකේ තිබෙන පොඩි බංකර් එකක් අපි අලුත්වැඩියා කර ගත්තා. ආධාර එනතුරු රැඳී සිටිය හැකි තැනක් එතැන. මේ මිනිස්සු හරිම සන්සුන්. විදේශිකයන්ට ප්‍රශ්නයක් මේ වනතුරු ඇති වෙලා නෑ. මවුපියන්ට හා සිසුන්ට බය වෙන්න යෙදක් නෑ. ඒක මගෙ අත්දැකීම.“

දිනෙත්‍රි ජයවීර ගොමෙල් සරසවියේ පස්වන වසරේ වෛද්‍ය සිසුවියකි. “ ලෝක යුද්ධ ගැන කියවලා තිබුණට අහලා තිබුණට මේ තරම් යාබද රටක එහෙම තත්ත්වයක් උදාවෙයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ. යුක්රේනයෙ තත්ත්වය දැනගත්තට පස්සෙ මුලින්ම අපි කලබල වුණා. අපට වඩා අපේ මවුපියො කලබල වුණා.

ඒ වුණාට ඇත්ත තොරතුරු විග්‍රහ කරගනිද්දී අපට තේරුණා අප ජීවත්වන බෙලරූස්වලට දැනට යුද අවධානමක් නැති බව. වෛද්‍ය විද්‍යාලයේ සාමාන්‍ය කටයුතු වෙනවා. රටෙත් එහෙමයි. එහෙත් යම් කිසි කෙනකුට යන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු කරන්න කියලා අග්‍රාමාත්‍යතුමා කියලා තිබෙනවා. මහාචාර්ය ජනිතා ලියනගේ තානාපතිතුමිය සහ ඇගේ කාර්ය මණ්ඩලය ඒ ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. විශ්වවිද්‍යාල කුලපතිතුමා ඇතුළු පිරිස හදිසි අවස්ථාවක දී කළ යුතු දේ ගැන සැලසුම් සහගතව ඉන්නවා. අපි හැමදෙනාම ගොඩක් විමසිල්ලෙන් ඉන්නේ“

ශනිල් සහබන්දු යන්කා කුපාලා විශ්වවිද්‍යාලයේ ගණිත සහ ඉංජිනේරු පීඨයේ සිසුවෙකි. ඔහු එහි ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ සභාපතිය. ඔහුට අනුව ජීවත්වන ග්‍රෝඩ්නෝ සුපුරුදු පරිදි සාමකාමීය.

“පවතින අවදානමත් හඳුනා ගන්න පුළුවන් වුණේ බැංකු සහ ගනු­‍ෙදනු සම්බන්ධව තමයි. පනවා තිබෙන සම්බාධක නිසා ජාත්‍යාන්තර සම්ප්‍රේෂණවල ගැටලුවක් ආවා. දැනෙන අනතුරක් ගැන සේයාවක්වත් නෑ.“

ඔහු කියන්නේ මොස්කව් තානාපති කාර්යාලය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ සම්බන්ධ වී සිටින බවය.

“ අප ඉදිරියේ දී ගත යුතු පියවර ගැනත් මේ මොහොතේ පවතින තත්ත්වය ගැනත් ඔවුන් අපව දැනුම්වත් කර තිබෙනවා. හදිසි අවස්ථාවක් ආවොත් මොස්කව්වලට යන්න අවශ්‍ය පහසුකම් සලසා දී එතැන් සිට ඍජු ගුවන් ගමනකින් ලංකාවට රැගෙන ඒමයි ඔවුන්ගේ සැලසුම. එය තානාපති කාර්යාලය සරසවියට දැනුම් දීලා තියෙන්නෙ.“

සීමිත කාලයකට ලංකාවට පැමිණීමට කැමති සිසුන් සිටිනවා නම් ඔවුන් සම්බන්ධව තොරතුරු මේ වනවිට ශිෂ්‍ය නායකයන් සහ තානාපති කාර්යාලය එක් රැස් කරමින් සිටින බව ද ඔහු කියන්නේය.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනිය මහාචාර්ය ජනිතා ලියනගේය. අපි ඇයව ඇමතුවෙමු. ඇය කියන්නේ මේ වනතුරු එක්දහස් හයසියයකට ආසන්න බෙලරූස් ශිෂ්‍ය ප්‍රජාවෙන් ලංකාවට පැමිණීම සඳහා ඉල්ලා ඇත්තේ සිසු සිසුවියන් 15 දෙනෙක් පමණක් බවය. ඔවුන් ද දේශ සීමා නගරයක් වන ගොමෙල් රාජ්‍ය විශ්විවිද්‍යාලයෙ ඉගෙනුම ලබන සිසුන්ය.

“ ඉතාම සමාන්‍යයයි බෙලරූස්වල තත්ත්වය. ඒත් අවශ්‍ය ඕනෑම කෙනකුට ලංකාවට එන්න පුළුවන්. පෝලන්තය හරහා හෝ මොස්කව් හරහා ලංකාවට එන්න අවශ්‍ය වීසා පහසුකම් සූදානම් කර තියෙන්නෙ. නමුත් කිව යුත්තෙ කිසිදු හදිසි තත්ත්වයක් නැති බවයි. විශ්වවිද්‍යාල නිවාඩු දීලා නෑ. සාමාන්‍ය ආකාරයට පැවැත්වෙනවා. මේ ඉන්න එක්දහස් හයසීයකට වැඩි සිසුන් ප්‍රමාණයෙන් ළමයි 15යි එන්න කැමැත්ත ප්‍රකාශ කර තියෙන්නේ. ඔවුනුත් නැවත රටට එන්නේ මවුපියන්ගෙ අවශ්‍යතාව මතයි..“ ඇය කියන්නීය.

හිම ගිනි ගෙන ඇත්තේ නෑදෑයන් සෝයුරන් සේ හිටි දෙපාර්ශ්වයක දේශපාලන ගනුදෙනුවක් බේරා ගැනීමටය. පූටින්ගේ රුසියාවේ මිනිස්සු යුද්ධය එපා කියති. ලුකෂෙන්කෝගේ බෙලරූස්වල මිනිස්සු යුද්ධය එපා කියති. මේ ඇවිළෙන යුද්ධය ලෝකයේ කොතැනක හෝ වෙසෙන මිනිසුන්ගේ ජීවිත දවාලයි. අම්මලා තාත්තලාට දරුවන් ගැන ඉවක් තිබේ. බෙලරූස්හි දරුවන් ගැන කම්පනයට පත්වී සිටින ලංකාවේ අම්මලා තාත්තලාට ඇත්තේ ඒ අනතුරෙහි ඉව විය හැකිය. ඔවුන්ට අනුව අනතුර ඇත්තේ හිම යටය. හිම යට ගිනි සැඟවී ඇතැයි ඔවුන් දෙඟිඩියාවෙනි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?