පසුගිය 03 දින කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ ප්‍රසිද්ධ හෝටලයකට පැමිණි පුද්ගලයෙකු තමා පුද්ගලික බැංකුවක නිළධාරියෙකු බවට හඳුන්වා දෙමින් සුහදශීලීව රාත්‍රී භෝජන සංග්‍රහයකට පිරිසක් පැමිණෙන බවට දන්වා එම හෝටලයෙන් විශාල වශයෙන් ආහාර පාන වග ඇණවුම් කර තිබෙනවා.
අනතුරුව හෝටලය කාර්ය බහුල වන අවස්ථාවේ එම පුද්ගලයා විසින් හෝටලයේ භාණ්ඩ සොරකම් කර පලා ගොස් ඇති අතර ඒ සම්බන්ධව අදාළ හෝටලය මගින් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය විසින් සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරු මීට පෙර කුරුඳුවත්ත, පෑලියගොඩ හා නුගේගොඩ යන පොලිස් වසම් තුළද මෙවැනි ආකාරයට සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
- ස්ථානාධිපති, කොම්පඤ්ඤ වීදිය -071-8591561
- කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය – 011-2433829
ඇතැම් පුද්ගලයන් විසින් විවිධ අවස්ථාවන් වලදී සිදු කරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවන් පිළිබඳ පොලිස් ස්ථාන වෙත වාර්තා වන අතර වෙළඳ සැල් ඇතුළු ආයතන වෙත පැමිණෙන පුද්ගලයින් පිළිබඳව හැකිතාක් සැලකිලිමත්ව හා අවධානයෙන් කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙනවා.













