කොළඹ ගංවතුර පාලන ව්‍යාපෘතියෙන් සුපිරි ගැහිල්ලක්

කොළඹ අග නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වී තිබුණද මෙම ව්‍යාපෘති හේතුවෙන් මතු වූ විගණන ගැටලු මෙන්ම ව්‍යාපෘති අරමුණු වලින් පරිබාහිරව කටයුතු කිරීමට යාමෙන්  රජයට මිලියන ගණනින් පාඩු සහා ව්‍යාපෘති මුවාවෙන් වංචාවන් රැසක් ද සිදු කර ඇත.

ඒ අනුව කොළඹ අග නගර ආශ්‍රිත කරගනිමින් නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.  කොළඹ ජල ද්‍රෝණියේ ජල පෝෂක ප්‍රදේශයේ ජල ගැල්ම අඩු කිරීම, කොළඹ අගනගරයේ පළාත් පාලන ආයතනවල ධාරිතාවය ශක්තිමත් කිරීම සහ තෝරාගත් ආදර්ශන ආයෝජනයන් මගින් ප්‍රාදේශීය යටිතල හා සේවා වැඩිදියුණු කිරීම් හා නඩත්තු කිරීම් මෙම  ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත.

ව්‍යාපෘතියේ ණය ගිවිසුම අනුව එවකට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වර්තමානයේ නාගරික සංවර්ධන සහ ජල සම්පාදන සහ නිවාස අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස කටයුතු කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ කොළඹ මහනගර සභාව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ.

අදාල ව්‍යාපෘතියේ කටයුතු 2012 ජූලි 10 වන දින ආරම්භ කර 2014 ජුනි 30 වන විට නිම කිරීමට සැලසුම් කර තිබුණද පසුව මතුවූ තත්වයන් හේතුවෙන්  ව්‍යාපෘති කාලය  2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබුණි.

ඒ අනුව ව්‍යාපෘතිය විසින්  2017 අගෝස්තු සිට තත්කාලීන ගංවතුර පාලන පද්ධතිය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමට යැයි පවසමින් ඒ සඳහා උපදේශකවරයෙකු ලබාගෙන  එම උපදේශකවරයා සඳහා රුපියල් මිලියන 32.9 ක දීමනාවක් 2020 ජූනි මස 30 දක්වා ගෙවා තිබුණ ද  ව්‍යාපෘති කටයුතු නිම  කිරීමකින් තොරව උපදේශකවරයාගේ සේවය නවතා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසට ගංවතුර පාලන පද්ධතිය සම්බන්ධ  ව්‍යාපෘතියට උපදේශකගෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණද උපදේශකවරයා ට  ගෙවීම් සිදු කිරීමෙන් රජයට අනවශ්‍ය පාඩුවක් සිදු වී ඇත. උපදේශකවරයාගේ සේවය නවතා දැමීම සැකයට තුඩු දෙන කරුණකි.

ව්‍යාපෘතියේ අරමුණු වලින් පරිබාහිරවද මෙහිදී ගෙවීම් සිදු කර ඇති අතර එයට උදාහරණයක් ලෙස නාගරික සංවර්ධන ජලසම්පාදන හා නිවාස අමාත්‍යාංශය විසින් දරන ලද එකතුව රුපියල් මිලියන 5.96 ක  ප්‍රචාරන කටයුතු සඳහා කරන ලද බවට පවසමින් එම වියදම්  ව්‍යාපෘති වියදමක් ලෙසට  ව්‍යාපෘති ගිණුම්වලට ගිණුම් ගත කර ඇත. ව්‍යාපෘතියේ විෂය පථය සමග අනුකූල නොවන පරිබාහිර  වියදම් සිදුකිරීම  වංචා සහගත ක්‍රියාවක් බවට සැක උපදවන්නකි.

 තත්කාලීන ගංවතුර පාලන ඒකකයක් ස්ථාපනය සඳහා 2016 රුපියල් මිලියන 6 ක පිරිවැයකට  බත්තරමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලියට ගත්තද ගං වතුර පාලන මධ්‍යස්ථානය වශයෙන් කටයුතු ව්‍යාප්ත කිරීමට එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව පවසමින්  2017 වර්ෂයේදී සෙත්සිරිපාය 10 වැනි මහලේ සී අංශයේ කොටසකුත් කුලියට ගෙන ඒ සදහා කුලිය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා යැයි පවසමින් රුපියල් මිලියන 10.44 ක් ගෙවා තිබුණි.අවශ්‍යතාවයට උචිත අන්දමින් ගොඩනැගිල්ලක් එකවර තෝරා කුළියට නොගැනීම හේතුවෙන් අනවශ්‍ය වියදමක් දැරීමට රජයට සිදුවී ඇත.

ලැබී ඇති තොරතුරු අනුව කිරිමණ්ඩල මාවත කොළඹ 05 හි පිහිටි ගංවතුර පාලනය සහ ජල කළමනාකරණය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු විගණිත දිනය වූ 2021 මැයි මස 5 වන දින වන විටත් නිම කර නොතිබීම හේතුවෙන් නව ගොඩනැගිල්ලේ තත්කාලීන ගංවතුර පාලන පද්ධතිය ස්ථාපනය කිරීමේ කටයුතුද ආරම්භ කිරීමට නොහැකි වී ඇත. මේ හේතුවෙන්  රුපියල් මිලියන 92.15 ක පිරිවැයකට මිලදීගත් මෙම පද්ධතියට අදාල පරිගණක, පරිගණක තිර, දත්ත ගබඩා වැනි මෙම පද්ධතියට සම්බන්ධ උපාංග සවි කිරීමට ස්ථිර ස්ථානයක් නොතිබුණි.ඉහත ගොඩනැගිල්ල නිම නොකිරීම හේතුවෙන් මෙම පද්ධතියට අදාල රුපියල් මිලියන 643.3 ක් වටිනා ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාද කිරීමට සිදු වූ බවට කරුණු අනාවරණය වී ඇත .

ඉහත ප්‍රසම්පාදන කටයුතු සඳහා වෙන් කරන ලද අරමුදල් උපයෝජනයට නොහැකි වීම සම්බන්ධයෙන් වංචාවක් වූවාද යන්න පිළිබඳව විගණනයේදී පවා සැකයක් මතු වී ඇත.

ඩී. ගෝමස් – බස්නාහිර පළාත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?