ඉන්දියාව සහ චීනය අතර වසර ගණනාවක් පුරා පවතින දේශසීමා අර්බුදයට සාධාරණ සහ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් සෙවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං එකඟ වී තිබෙනවා.
නවදිල්ලියේ පැවැත්වෙන BRICS රාජ්‍ය නායක සමුළුවට සමගාමීව නායකයන් දෙදෙනා අද පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කළා.
වසර හතකට පසු ෂී ජින්පිං ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර සබඳතා දැඩි ලෙස පිරිහීමට හේතු වූ 2020 හිමාල දේශසීමා ගැටුමෙන් වසර හයකට පසුව මෙම හමුව සිදුවීම ද විශේෂත්වයක්.
දේශසීමා ගැටලු සම්බන්ධයෙන් දෙරට අතර දැනට පවතින ගිවිසුම් සහ එකඟතා පිළිපැදීමේ අවශ්‍යතාව මෝදි මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ඉන්දියාව සහ චීනය අතර කිලෝමීටර් 3,500කට ආසන්න දේශසීමාවේ ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් පවතින මතභේද තවමත් සම්පූර්ණයෙන් විසඳී නැහැ.
ෂී ජින්පිං සඳහන් කර ඇත්තේ ඉන්දියාව සහ චීනය අතර වෙනස්කම් පැවතියද, දෙරටට එකිනෙකාගේ ශක්තීන් භාවිත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිතව ඉදිරියට යා හැකි බවයි.
ආර්ථික හා වෙළෙඳ සබඳතා ද සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. වෙළෙඳ අසමතුලිතතාව, සැපයුම් දාම ගැටලු සහ වෙළෙඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අවධානයට ලක්වන කරුණු විසඳීමට අවශ්‍ය බව නායකයන් දෙදෙනා අවධාරණය කර තිබෙනවා.
මීට අමතරව දෙරට අතර ව්‍යාපාරික, සංස්කෘතික සහ ප්‍රවාහන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද එකඟතාව පළ වී තිබෙනවා.
2020 දේශසීමා ගැටුමෙන් පසු දැඩි ලෙස පිරිහුණු ඉන්දියා – චීන සබඳතා, ගුවන් ගමන් සහ වීසා පහසුකම් යළි ආරම්භ කිරීම මෙන්ම ඉහළපෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා මෑතක සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත්, හිමාල දේශසීමා අර්බුදය, ඉන්දියාවේ චීනය සමඟ පවතින විශාල වෙළෙඳ හිඟය සහ ආසියාවේ දෙරට අතර උපායමාර්ගික තරගකාරීත්වය හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැඹුරු අවිශ්වාසය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැහැ.













