මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබාගැනීමේ දී මහජනතාවට ගතවන කාලය අවම කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කළේ, මෙම වැඩසටහන සම්බන්ධයෙන් සියලුම කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි.
මහජනතාවට අවශ්‍ය සේවාවන් හැකි කෙටිම කාලයක් තුළ ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
කොමසාරිස් ජනරාල්වරයාට අනුව, උදෑසන 7:00 හෝ 8:00 ට පමණ දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින්ට එහි පැය ගණනාවක් ගත කිරීමට සිදුවන අතර, ඇතැමුන්ට පස්වරු 2:00 පමණ වන තුරු එහි රැඳී සිටීමට සිදුවන අවස්ථා ද වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, පාරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීමටත්, අවශ්‍ය සේවාවන් උපරිම වශයෙන් පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ ලබාදීම සහතික කිරීමටත් පියවර ගනිමින් සිටින බවයි කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ.













