වාහනයක් එහි හිමිකරුම ධාවනය කළ යුතුයැයි නීතියක් නැහැ – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

යතුරුපැදි ඇතුළු මෝටර් වාහනවල අදාළ වාහනයේ ලියාපදිංචි අයිතිකරුම පැදවිය යුතු යැයි නීතියක් පනවා නොමැති බව
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුෂාර ප්‍රනාන්දු පවසනවා.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ, වාහනයක් වෙනත් ආයතනයකට කිසියම් කටයුත්තක් සඳහා පැවරුවේ නම් පමණක් ඒ අවස්ථාවේදී ‘පැවරීමේ රක්‍ෂණයක්’ තිබිය යුතු යැයි නීතියක් ක්‍රියාත්මක වන බවයි.

අද (09) පෙරවරුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

වාහනයක ලියාපදිංචි අයිතිකරු පමණක් එය ධාවනය කළ යුතු යැයි පොලිසිය ජනතාව අපහසුතාවට පත්කිරීමේ සිද්ධීන් පිළිබඳව මාධ්‍යවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසුවා.

කිසියම් පුද්ගලයකුට වාහනයක් තිබේ නම් එම වාහනය ඔහුගේ පවුලේ සාමාජිකයන් වන දරුවන්, බිරිඳ, ස්වාමීපුරුෂයා සහ ඔහුට සම්බන්ධ කෙනෙකුට ධාවනය කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.