ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූද් ඉමාඩ් (H.E. Masood Imad) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේදී (27) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දීර්ඝ කාලයක් පුරා අන්‍යෝන්‍ය විශ්වාසය, මිත්‍රත්වය සහ සහයෝගීතාව පදනම් කර ගනිමින් ගොඩනැඟී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් පුළුල් කරමින්, දෙරටේ ජනතාවගේ සුබසාධනය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්හි සහයෝගීතාව වඩාත් ඵලදායී මට්ටමකට ගෙන ඒමේ හැකියාව පිළිබඳව මෙම සාකච්චාවේ දී අවධානය යොමු කෙරුණා.
මෙහිදී දෙරටේ සෞඛ්‍ය පද්ධතිවල අත්දැකීම් හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය, අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් ක්‍රියාවලීන්හි සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනුණා.
දෙරට සතු සම්පත්, තාක්ෂණික දැනුම සහ විශේෂඥතා ඵලදායී ලෙස උපයෝගී කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අභියෝග ජය ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය වුණා.
එමෙන්ම, පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයින වෙත රුපියල් මිලියන පහකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණා.
එම මානුෂීය සහයෝගය වෙනුවෙන් මාලදිවයින් රජය සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් සිය විශේෂ කෘතඥතාව පළ කළ මහ කොමසාරිස්වරයා, එම පරිත්‍යාගය දෙරට අතර පවත්නා සමීප මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මැනවින් පිළිබිඹු කරන්නක් බව සඳහන් කළා.
සෞඛ්‍ය ක්ෂේත්රයට අමතරව, ජනමාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම, මාධ්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සහ දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීම සඳහා ජනමාධ්‍යයට කළ හැකි දායකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියා.










