අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UoVT) ශිෂ්‍ය නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (27) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.
මෙහිදී විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ශිෂ්‍ය සුබසාධන අවශ්‍යතා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
අනාගත ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UoVT) සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය සතු දැක්ම හා සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ශිෂ්‍ය සංගම් නියෝජිතයන් දැනුවත් කළා.
විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය පියවීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර, වෘත්තීය ක්ෂේත්රයේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කරන ලද එම ආයතනයේ කාර්ය මණ්ඩල සැලැස්ම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් සඳහන් කෙරුණා.
එමෙන්ම, අවශ්‍ය අවස්ථාවලදී කොන්ත්‍රාත් පදනම මත කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂඥයන්ගේ දායකත්වය ලබා ගනිමින් ඉගැන්වීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද අග්‍රමාත්‍යවරිය අවධාරණය කළා.
පවතින පුරප්පාඩු සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගනිමින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩිනමින් ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ප්රමිතීන් සැලකිල්ලට ගන්නා අතරම, මෙරට අවශ්‍යතා හා නව ගෝලීය ප්රවණතාවන්ට ගැළපෙන ශක්තිමත් අභ්‍යන්තර තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියක් (Internal Quality Assurance) ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.
එමෙන් ම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටි හා නේවාසික පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ යාන්ත්‍රණ සමඟ එක්ව විසඳුම් සෙවීමට රජය මැදිහත් වන බව සඳහන් කෙරුණු අතර නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසන ක්‍රියා මුළුමනින්ම වැළැක්වීම සඳහා ශිෂ්‍ය සංගම්වල සක්‍රීය වගකීම හා සහයෝගය අත්‍යවශ්‍ය බව ද අවධාරණය කෙරුණා.
මෙම අවස්ථාව සඳහා රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.










