14 හැවිරිදි දැරියක්, දරුවෙකු බිහිකර දින කිහිපයකට පසු තම සැමියාගේ පහර කෑමකට ලක්ව මියයාමේ පුවතක් ඉරානයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සොගන්ඩ් මොෂ්තාරෙකි නමැති දැරියක් බවයි වාර්තා වන්නේ.
දරුවා බිහි කළ පසු තම පවුලේ අයව හමුවීමට යාමට 14 හැවිරිදි දැරිය අවසර ඉල්ලා සිටීම සැමියාගේ මෙම පහරදීමට හේතු වී ඇති බවයි වාර්තා වුණේ.
කර්මාන් පළාතේ පදිංචිකාරියක වූ සොගන්ඩ්, දරු ප්‍රසූතිය සඳහා රෝහල වෙත රැගෙන යන අතරතුර රිය අනතුරකට ද මුහුණ දී තිබූ අතර, එම අනතුරෙන් දිවි ගලවාගෙන දරුවා නිරුපද්‍රිතව බිහි කිරීමට ඇය සමත්ව තිබුණා.
සොගන්ඩ්ගේ සැමියා ඇයව ඇයගේ පවුලේ අයගෙන් හුදකලා කර තබා ගත් බවත්, ඔහු නිවසින් පිටතට යන විට ඇයව නිවස තුළ සිරකර තබා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
ඉරානයේ පවතින බලහත්කාර විවාහ ක්රමයේ මාරාන්තික ප්‍රතිවිපාක මෙම සිදුවීම මගින් මනාව පෙන්නුම් කරන බවයි ඉරාන මානව හිමිකම් සංවිධාන පවසන්නේ.










