Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නවසීලන්තයේ හිටපු අගමැතිනිය, අගමැති හරිනිව හමුවෙයි

​සෞඛ්‍ය ප්‍රතිපත්ති හා පද්ධති පර්යේෂණ සන්ධානයේ (Alliance for Health Policy and Systems Research) සභාපති සහ නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය හෙලන් ක්ලාක් ඊයේ (27) දිනයේ දී දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

​රජයේ සංවර්ධන ප්‍රමුඛතා, පවතින ආයතනික යාන්ත්‍රණ සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා ස්ථාපිත කරමින් පවතින ක්‍රියාවලීන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

​රටේ සංවර්ධනයට දායක වීම සඳහා, විශේෂයෙන්ම තාක්ෂණික විශේෂඥ දැනුම සහ සහාය ලබා ගැනීමේ අරමුණින් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ලැබෙන ආයෝජන දිරිගැන්වීමට රජය දක්වන උනන්දුව පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළා.

​අඛණ්ඩව ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කරුණු පැහැදිලි කළ අතර, පවතින ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට ඉගෙනුම් ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය ලෙස සිසුන් පත් කරමින් ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශයක් හඳුන්වා දීම සඳහා රජයේ ඇති කැපවීම ද අවධාරණය කෙරුණා.

​ශ්‍රී ලංකාව මුහුණ දුන් ආපදා තත්ත්වයන්ගෙන් යථා තත්ත්වයට පත්වීමේ සහ නැවත ගොඩනැඟීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යතුමිය, අනාගතයේ මුහුණ දීමට සිදුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ජාතියක් වශයෙන් ශක්තිමත්ව නැඟී සිටීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා.

ආපදා තත්ත්වයන්ගෙන් පසු අභියෝග ජය ගනිමින් රට යළි ගොඩනැඟීමේදී ශ්‍රී ලාංකික ජනතාව ප්‍රදර්ශනය කළ නොසැලෙන විශ්වාසය සහ ශක්තිය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළා.

​කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඉහළ නැංවීම සහ දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලීන් තුළ ඔවුන්ගේ නියෝජනය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

​මෙම හමුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හා පද්ධති පර්යේෂණ සන්ධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය කුමානන් රාසනාතන් මහතා සහ එම සන්ධානයේ උප සභාපති මෙන්ම චිලී රාජ්‍යයේ හිටපු සමාජ සංවර්ධන හා පවුල් කටයුතු අමාත්‍යවරිය වන ආචාර්ය ජෙනට් වේගා ද එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ වත්සලා අමරසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වුණා.