ජල භීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම සදහා නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම මෙන්ම සුනඛයින් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හදුන්වා දී ඇති බව සඳහන්.
මෙමගින් සෑම පළාත් පාලන ආයතනයකම පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජල භීතිකා රෝගයට එන්නත් කළ යුතු අතර, ලියාපදිංචි කිරීමත් එම ආයතනයක් විසින්ම සිදුකළ යුතු වනවා.
වයස සති 06කට වැඩි සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබා ගන්නා යම් තැනැත්තෙකු විසින් එම සුනඛයාට ජල භීතිකා එන්නත එන්නත් කිරීම හා වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම සිදුකළ යුතු වනවා.
සුනඛයා එන්නත් කිරීමෙන් පසු එන්නත් කිරීමේ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව එම සුනඛයා සඳහා නියම කරනු ලද ගාස්තුවක් ගෙවීමෙන් පසු පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතුයි
එහිදි සුනඛයාට ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීම සිදුකිරීමට නියමිත අතර, සුනඛයින් ලියාපදිංචි කිරීම සිදුනොකරන්නේ නම් ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මගින් නියෝග කර තිබෙනවා.













