කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කර උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අද අධිකරණයේ පෙනී නොසිටි හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් .බෝදරගම අද (21) වරෙන්තු නිකුත් කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකරු අධිකරණය පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් ලැබුවා.
සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය අද දින පැවැත්වීමට තිබු අතර 08 වන සහ 05 වන සාක්ෂිකරුවන් අධිකරණයට පෙනී නොසිටිම නිසා අධිකරණයෙන් සාක්ෂිකරුවන්ට නොතීසි නිකුත් කළා.
සිද්ධියට අදාළ සැකකරුවන් හයදෙනාගෙන් එක් අයෙකු අධිකරණයේ පෙනී නොසිටිම නිසා මහේස්ත්රාත්වරයා විසින් මෙලෙස නියෝග කරනු කරනු ලැබුවා.
2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.
මහා මාර්ගය අවහිර වන ආකාරයෙන් මෙම සැකකරුවන් ඇතුළු 600ක ප්රමාණයක් උද්ඝෝෂණයේ නිරත ව සිටි බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වනු ලැබුවා.
ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් විමල් වීරවංශ ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණය පැවැත්වා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
විත්තිකරුවන් වන හිටපු ඇමති විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අය මෙම නඩුවේ සැකකරුවන් වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.













