හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග මව්බිමට – ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි (වීඩියෝ)

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි රුමේෂ් තරංගව පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

මේ අතර අද (15) උදෑසන දිවයිනට පැමිණීමේ දී රුමේෂ් තරංග සතු හෙල්ල 05ක් ගුවන් මගින් ගෙන ඒමේ දී හානි සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු මෙම හෙල්ල මෙම වසරේ පැවැත්වෙන ආසියානූ ශූරතා තරගාවලියට එළඹෙන 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලිය සහ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සදහා ද භාවිත කිරීමටත් ඉන්පසු ඒවා සිහිවටන ලෙස තමා සන්තකයෙහි තබා ගැනීමටත් රුමේෂ් තරංග සැළසුම් කර තිබුණා.

මෙසේ හානි වී තිබූ හෙල්ල පිළිබද තුර්කි ගුවන් සේවයට එරෙහිව රුමේෂ් තරංග විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද (15) අලුයම 05.10 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග මව්බිමට පැමිණීමේන් පසු දැක්වූ අදහස්..

ඇත්තටම සතුටුයි ලංකාවට මේ වගේ ට්‍රොෆීස් දෙකක් අරන් එන්න ලැබීම ගැන. කියන්න වචන නෑ..හැමදාම කියනවා වගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට ඕගොල්ලෝ හැමෝම දන්නවා ඒක. ඕගොල්ලෝ හැමෝටම ස්තූතියි. වාසනාවන්ත විදියට මීටර් 92 උඩ ත්‍රෝස් කරපු ජවලින් පහම අද ෆ්ලයිට් එකේ දී කැඩිලා තිබ්බා. එයාර් ක්‍රාෆ්ට් එකේ තිබ්බ අතපසුවීමකින්. කරන්න දෙයක් නෑ. එයාර්පෝට් එකෙන් එළියට එද්දී වෙනදා වගේ සතුටකින් නෙවෙයි එළියට ආවේ.