ජාතික, ප්‍රාදේශීය සහ පාසල් මට්ටමේ ක්‍රිකට් පුහුණුකරුවන් 35 දෙනෙකුට ආසන්න පිරිසකගේ සේවය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.
වසර 20ක් වැනි දීර්ඝ කාලසීමාවක් පුරා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ පළපුරුදු පුහුණුකරුවන් රැසක් මෙම පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ.
නව බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී තමන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, ප්‍රධාන විධායක නිලධාරී (CEO) මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වෙතද දැනුම් දුන්නද මෙතෙක් කිසිදු සාධාරණ පිළිතුරක් ලැබී නොමැති බවද සේවා අත්හිටුවීමට මුහුණ දී සිටින පුහුණුකරුවන් පවසනවා.
මේ දිනවල ක්‍රියාත්මක වන වයස අවුරුදු 15න් පහළ ජාතික මට්ටමේ තේරීම් තරගාවලි අතරතුර මෙලෙස එක්වරම සේවය අත්හිටුවීම, ක්‍රීඩකයන්ගේ ඉදිරි අනාගතයට සහ තරගාවලි සංවිධානයට දැඩි බාධාවක් එල්ල වන බව එම පුහුණුකරුවන් පෙන්වා දෙනවා.













