ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසනවා.
වසර 26ක පමණ කාලයක් අලුත්වැඩියා නොකර පැවති, සංචාරකයින් විශාල පිරිසක් භාවිත කරන ඇල්ල Waterfall Road මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඇල්ල Waterfall Road මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මීට අමතරව රුපියල් මිලියන 500ක පිරිවැයකින් දුන්හිඳ–බල්ලකැටුව–දෙමෝදර මාර්ගයත්, රුපියල් මිලියන 370ක පිරිවැයකින් ඇල්ල–පස්සර මාර්ගයත්, කන්දෙකුඹුර මාර්ගය රුපියල් මිලියන 270කින්ද, පියරපන්දොව මාර්ගය රුපියල් මිලියන 59කින්ද සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට වේගයෙන් සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
තවද යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව ඇල්ල නගරයේ සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලසුම් කිහිපයක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ඇල්ල ප්‍රවේශය සඳහා නව උමං මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, නගර මධ්‍යයේ පිහිටි අක්කර 2.5ක RDA ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් මිලියන 50ක මූලික ප්‍රතිපාදන යටතේ නවීන සංචාරක සංකීර්ණයක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් සහ ප්රදර්ශනාගාර ඇතුළත් පරිශ්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.
ඇල්ල නගරයේ පවතින ප්‍රධාන ගැටලුවක් වන කසළ කන්ද ඉදිරි මාස එකත් දෙකත් අතර කාලය තුළ සම්පූර්ණයෙන් ඉවත් කර එම භූමිය අලංකාර කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ වෙනුවෙන් වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ රුපියල් මිලියන 10ක පිරිවැයකින් නව ඩම්ප් යාර්ඩ් එකක් ඉදිකිරීමටත්, කසළ ප්‍රවාහනය සඳහා තවත් රුපියල් මිලියන 10ක් වෙන් කිරීමටත් පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.













