විභාග අක්‍රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු සිසුවෙකු නුගේගොඩ දිසා අධිකරණයේ වන්දි නඩුවක් ගොනු කරනු ලැබුවා.
මුලින් විභාගය අසමත් වූ බව දැනුම් දී තිබිය දී කිසිදු විභාගයක් හෝ නොපවත්වා පසුව අවස්ථාවක විභාගය සමත් කර ඇති බව දැනුම් දෙමින් විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රධානෝත්සවයක් ද පවත්වා ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සිසුවා මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් තමන්ට මෙතෙක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැතැයිද පවසමින් වන්දි නඩුව ගොනුකර තිබෙනවා.
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් සිසුවෙකු මාර්ගයෙන් තමාගෙන් රුපියල් 80,000ක මුදලක් ඇගේ ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටි බවද කොළඹ විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සිද්ධීන් හේතුවෙන් ඔවුන් තමා සමග අමනාපයෙන් පසුවීම නිසා ඔවුන් තමා විභාගයෙන් අසමත් කළ බවද පවසමින් කොළඹ සරසවියේ සිසුවෙකු වූ සනත් කුමාර අතුකෝරළ විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් වන්දි ඉල්ලා මෙලෙස නඩු පවරා තිබෙනවා.
සනත් කුමාර අතුකෝරළ මෙලෙස නඩු පවරා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන අයට සහ නීතිපතිවරයාට එරෙහිවයි.
නීතිඥ දනෝෂා පෙරේරා මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන සනත් කුමාර අතුකෝරල කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2022/2023 හැදෑරීම සඳහා කළ ඉල්ලීමකට අනුව එම පාඨමාලාව හැදෑරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමන් බඳවා ගත් බවත්‍් පාඨමාලාවේ පළමු තෙස්තමේන්තුවේදී කිසිදු අර්බුදයක් උද්ගත නොවූ නමුත් දෙවැනි තෙස්තමේන්තුවේදී 508 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ සහ 510 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් වූ බවත් සඳහන් කර තිබෙනවා.
508 විෂය ඉගැන්වූ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි එක් අවස්ථාවක සිසුවකු මාර්ගයෙන් මුදල් හදිස්සියක් බව පවසමින් ඇගේ ගිණුමට රුපියල් 80,000ක මුදලක් බැර කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි නමුත් තමා ඊට එකඟ නොවූ බවයි පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරල සඳහන් කර ඇත්තේ.
එම සිද්ධියෙන් අනතුරුව 2024 මැයි 18 සහ 19 වැනි දිනවල කිරිඇල්ල ‘විජය රිෂෝට්’ ආයතනයේදී පාඨමාලාවට අදාළ දෙදින වැඩමුළුවක් සංවිධානය කර තිබූ බවත් එම වැඩමුළුවට විශ්ව විද්‍යාලයට කිසිඳු සම්බන්ධකමක් නැති දියගුආරච්චිගේ සැමියාද පැමිණ සිටි බවත් සඳහන් කරන අතුකෝරල මහතා එක් සිසුවකු පැමිණ දියගුආරච්චිගේ සැමියාට තමාගේ කාමරයේ නවාතැන් ගැනීමට ඉඩදෙන ලෙස කළ ඉල්ලීමට තමා විරුද්ධත්වය පළ කළ බවත් මෙම සිදුවීම් වලින් අනතුරුව කථිකාචාර්ය දියගුආරච්චි තමා සමඟ වෛරයක් ඇතිකරගත් බවත් සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීම් වලින් අනතුරුව පැවති විභාගයේදී 508 විශේෂ සඳහා ඇය නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගොස් අසාධාරණ” අත්තනෝමතික හා පළිගන්නා අන්දමින් තමන්ට අගතිදායක වන ලෙස අඩු ලකුණු ලබා දී තමන් විභාගයෙන් අසමත් කර ඇතැයි පවසන පෙත්සම්කාරු විභාගය පැවැත්වීමට පෙරම ඇය විභාගයේදී එන ප්‍රශ්න මොනවාද? යන්න වෙනත් සිසු කණ්ඩායමකට හෙළි කර ඇති බවටද චෝදනා කර සිටිනවා.
2025 ජනවාරි මාසයේදී තමන් මේ ආකාරයෙන් අසමත් කර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව තමා මේ පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කල බවත් 2025 අප්‍රේල් මාසයේදී තමන් ඇතුළු සිසුන් කීහිපදෙනෙකු විභාගය සමත් වී ඇති බව දක්වමින් නව ප්‍රතිඵල ලේඛණයක් නිකුත් කර ඇතැයි පවසන පෙත්සම්කාර අතුකෝරළ ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් අතර කාලය තුළදී මේ විෂයට අදාළව කිසිදු විභාගයක් නොපැවැත්වූ බවද අවධාරණය කර සිටිනවා.
510 විෂය සඳහා බාහිර ක්‍රියාකරකමක් වශයෙන් එක් සිසුවකුගෙන් රුපියල් 3500 බැගින් මුදල් එකතු කර කණ්ඩායම් ව්‍යාපෘතියක් පැවැත්වූ බවත් එම ව්‍යාපෘතිය සඳහා සිසුන් පිරිසක් මුදල් දී ව්‍යාපෘතියට ද සක්‍රීයව සම්බන්ධ වුවත් නම් සඳහන් කළ සිසුන් කීහිපදෙනෙකු මුදල් ලබා දුන්නත් ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ බව පෙන්වා දෙන පෙත්සම්කරු ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ වූ සිසුන්ට මෙන්ම ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ එම සිසු පිරිසටද විෂය භාරව කටයුතු කළ කථිකාචාර්යවරයා සම්පූර්ණ ලකුණු දී ඇති බවටද චෝදනා කරනවා.
නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කළා නම් තමන්ට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව කථිකාචාර්යවරුන්ගේ මෙම අත්තනෝමතික, අනීතික හා අසාධාරණ ක්‍රියාවලීන් හේතුවෙන් තමන්ට අහිමි වූ බව පෙන්වා දෙන පෙත්සම්කාර අතුකෝරළ මේ සම්බන්ධයෙන් තමන් විශ්වවිද්‍යාලයේ ඉහළ පාලනාධිකාරයට මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමටද කළ පැමිණිලිවලට අනුව ආරම්භ කළ විමර්ශන තවමත් සිදුවන බවද පෙන්වා දී තිබෙනවා.
මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් තමන්ට මෙතෙක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැතැයි සඳහන් කරන සනත් කුමාර අතුකෝරළ වගඋත්තරකාර විශ්වවිද්‍යාල බලධාරීන් අනීතික සහ නීතිවිරෝධී ක්‍රමෝපායන් අනුගමනය කරමින් මුලින් විභාගය අසමත් වූ බව පැවසූ සිසු පිරිස පසු අවස්ථාවක විභාගය සමත්කර දී ඇති බවටද චෝදනා කර සිටිනවා.
විශ්ව විද්‍යාලයේ මෙම විභාග අක්‍රමිකතාවය පිළිබඳ ඉහළ බලධාරීන්ට පැමිණිලි කරන ලඳුව ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වෙන බවත් එම විමර්ශනය අවසන් කර නොතිබියදී තමාගේ විරෝධයද නොතකා විශ්ව විද්‍යාල බලධාරීන් විසින් විභාගය අසමත් වූ සිසුවකුටද උපාධිය ප්‍රදානය කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කාර අතුකෝරල කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම නීතිවිරෝධී හා වංචනික ක්‍රියාකලාපය හේතුවෙන් තමාට අදාළ පාඨමාලාවෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ බවටත් මිතුරන් අතර තමා සමච්චලයට ලක්ව ඇති බවටත් චෝදනා කර තිබෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ වගඋත්තරකාර බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමාගේ කාලය, ශ්‍රමය මෙන්ම ධනයද නිස්කාරණයේ නාස්ති වී ඇති බවට චෝදනා කරන සනත් කුමාර අතුකෝරළ තමාට සිදුවූ අලාභය වෙනුවෙන් වගඋත්තරකාර විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලීමක් ද කර තිබෙනවා.













