අලුත් අවුරුද්ද, තවත් එක් දිනයක් හෝ උත්සවයක් පමණක් නොව, අපේකම පිරි හැඟීමක් – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ මඟින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තවත් එක් දිනයක් හෝ උත්සවයක් පමණක් නොව අපේකම පිරි හැඟීමක් බවයි.

මෙරට වෙසෙන සහ විදේශීය රටවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ආයුෂ, ප්‍රඥා, සැප, බල ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවායැයි හිටපු ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය පහතින්,

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු තවත් එක් දිනයක් හෝ උත්සවයක් පමණක් නොවේ. එය අපේ කම පිරි හැඟීමකි. එම හැඟීම නිවස, පවුල, මුතුන්මිත්තන්, සොබාදහම සහ ඔබ අතර ඇති නොපෙනෙන බැඳීම ශක්තිමත් ව පවත්වා ගැනීමට හේතු වේ. මෙම සංස්කෘතික මංගල්‍යය තුළින් සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විදි, සාමූහිකත්වය, සමාජ සංස්ථාව සහ තම ආගම වැනි හර පද්ධතීන් පිළිබිඹු කරනු ලබයි. එක් අතකින් එය කෘෂිකර්මාන්තය හා බැඳි අපගේ මුතුන්මිත්තන් සොබාදහම සමඟ ගලපා ගත් ප්‍රඥාවන්ත ජීවන දර්ශනය ද වේ. තවත් අයුරකින් මෙය සංහිඳියාවෙන් යුතු මිත්‍රත්වයේ දිනය ද වේ. මෙම සංහිඳියාවට නීති රීති අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හොඳ හිත සමඟ කැවුම් කිරිබත් පිඟානක් සහ බුලත් හුරුල්ලක් පමණි.

අලුත් අවුරුද්ද යනු අප සැමගේ මහා සංස්කෘතික මංගල්‍යයි. මෙය මිනිසාත් සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික බැඳීමේ අපූර්වත්වය පෙන්නුම් කරනු ලබයි. මිනිසා සහ කෘතවේදීත්වය අතර අපූරු සබඳතාවක් ගොඩනගයි. මෙය අප තුළ ජීවත් වන සංස්කෘතික අධ්‍යාත්මයේ ජන විඥානය ඉතා මෘදු ලෙස ප්‍රතිසංස්කරණයට ලක් කරනු ලබන ජාතික උත්සවයකි. රටක් ‌ලෙස ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ ද මෙම යහපත් සමාජ බඳතා සහ සාමූහිකත්වය බව අපි සැම දනිමු. එනිසාම, මෙවැනි සැමරුම් අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කරනු ලබයි.

අතීතයේ රජ දවස මහා වාසල නැකැත් රාළ විසින් ප්‍රකාශ කරනු ලබන නැතැත් පත්‍රය අඬබෙර කරුවෙකු විසින් ගම් දනව් කරා රැගෙන ගිය බව ද රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව සූර්ය මංගල්‍ය සැමරූ බව ද ඉතිහාසයෙහි සඳහන්ව ඇත. අලුත් අවුරුද්ද යනු මතකයන් රැසක එකතුවකි. එම මතකයන් මම අද ද සතුටින් සිහිපත් කරමි. එබැවින්, ඔබේ දරුවන්ට ද එම සුන්දර මතකයන් හිමි කර දෙන ලෙස, වැඩිහිටි ඔබ සැමගෙන් මම ඉල්ලා සිටිමි.

මෙම කාලය තුළ අවුරුදු ක්‍රීඩා සඳහා විශේෂ තැනක් හිමි වේ. කොට්ට පොර, පොර පොල්, චක්ගුඩු, අංගම්පොර, ගස් නැගීම වැනි අවුරුදු ක්‍රීඩා තුළ ශේෂ වී ඇත්තේ අපගේ පාරම්පරික සටන් කලාවන්හි අවශේෂයන්ය. මේ නිසාම වර්ෂ 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනෙන් අනතුරුව සුදු ජාතිකයින් විසින් සිංහල අලුත් අවුරුද්දට මෙම ශිල්ප එළිදැක්වීම සහ පුහුණු වීම තහනම් කර ඇත. රටක් බිඳ දැමීමට නම් එහි සංස්කෘතික හර පද්ධතීන් බිඳ දැමිය යුතු බව ඔවුන් මැනවින් දැන සිටියහ. මෙය සියවස් ගණනාවකට පෙර ජීවත් වූ අපගේ පැරැන්නන් විසින් උපක්‍රමශීලී ලෙස රැකගත් සහ දායාද කළ පොදු උරුමය බව අප මතක තබා ගත යුතුය. කිසිවෙකුට මෙම මහා සංස්කෘතිය සූක්ෂ්ම ව දිය කර හැරීමට ඉඩ ලබා නොදිය යුතුය.

තාක්ෂණය සමඟ ‌ගොඩනැගෙන, මව්බිමේ අනාගතය වන අපේ දරු දැරියන්ගේ සිත් තුළ සංස්කෘතික අනන්‍යතාවය රෝපණය කිරීම අප සැමගේ වගකීමක් මෙන් ම යුතුකමකි. රටේ අනාගතයත් ජාතියක අනන්‍යතාවයත් තැනෙන්නේ අපගේ දරුවන්ගේ හදවත් තුළ රැකෙන අපේ සංස්කෘතියේ හරයෙනි. එම හරයන් ගරුත්වය , කරුණාව, එකමුතුකම සහ සොබාදහමට ගරු කිරීම වැනි ගුණාංගයන් පිළිබිඹු කරනු ලබයි.

මහින්ද රාජපක්ෂ වන මම අතීතයේ මේ රටේ ජනාධිපති ලෙස ඔබ සැම සමඟ එක්ව අලුත් අවුරුද්ද සැමරුවෙමි. අද දවසේ ඔබේ අසල්වැසියෙකු ලෙස, මිතුරෙකු ලෙස, සහ මෙහි වටිනාකම දන්නා වැඩිහිටියෙකු ලෙස ඔබ සමඟ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමි. අද දවසේ සුබ මොහොතින් අප සැම එක්ව නිවැරදිව චාරිත්‍ර ඉටු කරමු. අපි පවුලක් ලෙස මෙය සමරමු. මේ මහපොළවේ දරුවන් ලෙස මෙය සමරමු. අපේ මුතුන් මිත්තන් පාරම්පරික ව රැගෙන ආ සෞඛ්‍ය සම්පන්න, ගුණගරුක නිර්මාණාත්මක හැකියාවන් සංරක්ෂණය කරමු. සංස්කෘතිය රැකෙන්නේ පවුල තුළය, ඔබ තුළය, ඔබගේ ආරදණීය දරුවා තුළය.

අප සැම දරු මුනුබුරන් වට කර ගනිමින් නිවසේ සිට චාරිත්‍ර සිදු කරනු ලබන අද දවසේ ද, සේවයේ නියුතු සියලු ම ආරක්ෂක නිල දරුවන් සහ සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා නිලධරයන් සැම ද මම මේ අවස්ථාවේ සිහිපත් කරමි.

අප රටේ වෙසෙන සහ විදේශීය රටවල වෙසෙන සියලු ශ්‍රී ලාංකික මගේ ජනතාවට ආයුෂ, ප්‍රඥා, සැප, බල ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.

ඔබ සැමට සුබ අනාගතයක්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37