ඉස්සර හැම පවුලකම දරුවෝ අට නවදෙනෙක් සිටියෝය. නමුත් ‘පුංචි පවුල රත්තරන්’ කතාව බොහෝ පවුල්වල දරුවන් ගණන එකට, දෙකට අඩු කළේය. එහෙත් මහනුවර පල්ලියගුරුගේ යුවළ පුංචි පවුල රත්තරන් යන කතාව පිළිගන්නට සූදානම් වූයේ නැත. මතුනොව ඒ කතාව බොරු කළෝය. ඔවුන්ගේ පවුලේ දූ දරුවන් ගණන හත්දෙනෙකි. මේ ඕක්රේ සමූහ ව්‍යාපාරයේ සභාපති සුජීව පල්ලියගුරුගේගේ බිරිඳ මිෂෙල් පල්ලියගුරුගේ ඒ ගැන කී කතාවය.
ඔබට මුලින්ම සුජීව හමුවුණු දවස මතකද?
ඔව්. දෙදාහ අවුරුද්දේ දෙසැම්බර් තිස්එක් වෙනිදා.
කොහෙදිද හමුවුණේ?
මහනුවර තිලංකා හෝටලයෙදි.
තර්ටි ෆස්ට් නයිට් පාටි එකේදිද?
මෙහෙමයි. මමයි, මගේ අම්මයි, තාත්තයි, අයියයි දෙසැම්බර් තිස්එක් වෙනිදා රාත්‍රී ආහාරය ගන්න තිලංකා එකට ගියේ. සුජීවත් ඔහුගේ පවුලේ අයයි යාළුවොයි එක්ක එදා රාත්‍රී ආහාරය ගන්න එතනට ඇවිත් හිටියා.
සුජීවගෙ අම්මයි තාත්තයි එක්ක එදා අපේ අම්මයි තාත්තයි කතා කළා. ඒ ගොල්ලො කලින් ඉඳලම දන්න අඳුනන හිතවතුන්. හැබැයි ඊට කලින් මට සුජීව කවදාවත් හමුවෙලා තිබුණෙ නැහැ. එදා තමයි මුලින්ම දැක්කේ.
සුජීව එදා ඔබත් එක්ක කතා කළාද?
අම්මලා, තාත්තලා කතා කරන අතරේ වචනයක් දෙකක් කතා කළා. ඒ ඇරෙන්න පළමුවෙනි දවසෙ වැඩිය කතා කළේ නැහැ.
ඔය වෙනකොට ඔබේ වයස කීයද?
මට විසිතුනයි. සුජීවට විසිඅටයි.
කොහොමද සුජීව ඔහුගෙ කැමැත්ත ඔබට කිව්වේ?
එදා හමුවීමෙන් පස්සේ ඉඳහිටලා අපි කතා කළා. අපේ මව්පියන් දන්න අඳුනන අය නිසා එහෙම කතා කරන එක ගැටළුවක් වුණේ නැහැ. අපේ මුල්ම හමුවීමෙන් මාස දෙකක් විතර යද්දි දෙන්නට දෙන්නා ගැන කැමැත්තක් ඇතිවෙලා තිබුණේ.
ඔය වෙනකොට සුජීවට විවාහ වෙන්න කෙනෙක් ඔහුගේ මව්පියන් හොයමින් ඉඳලා තියෙන්නේ. මනමාලියො කිහිපදෙනෙක් බලන්නත් ගිහින්. හැබැයි ඒ කවුරුවත් සුජීවගෙ හිතට අල්ලලා තිබුණෙ නැහැ. අපි දෙන්නගෙ මව්පියන් කාලයක් තිස්සෙ දන්න අඳුනන අය නිසා සුජීවත් මාත් අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවට ඔවුන් විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ.
දෙන්නට දෙන්නා දැන අඳුනාගෙන සුජීවයි ඔබයි ඉක්මණින් විවාහ වුණා නේද?
ඔව්. කලින් කිව්ව විදිහට අපි දෙන්නා මුලින්ම හමුවුණේ දෙදාහ අවුරුද්දේ දෙසැම්බර් තිස්එක් වෙනිදා. දෙදහස් එකේ මැයි තුන් වෙනිදා අපේ විවාහය ලියාපදිංචි කළා. ඒ අවුරුද්දෙම සැප්තැම්බර් විසිහත් වෙනිදා අපේ විවාහ මංගලෝත්සවය ගත්තා. මුලින්ම හමුවුණු දවසෙන් පස්සෙ අවුරුද්දකටත් අඩු කාලයකදි අපි විවාහ වුණේ. මම සුජීවවත් සුජීව මාවත් තේරම් ගත්තේ වගේම දෙන්නට දෙන්නා අවබෝධ කරගත්තේ විවාහයෙන් පස්සෙ කිව්වොත් හරි.
අවුරුදු විසිතුන කියන්නෙ සාපේක්ෂව පුංචි වයසක්. එහෙම වයසකදි ඉක්මන් විවාහයකට යන්න හිතේ බයක් ඇති වුණේ නැද්ද?
එහෙම ඉක්මන් විවාහයකට මගේ ලොකු ඕනෑකමක් තිබුණේ නැහැ. හැබැයි සුජීව හිටියෙ විවාහ විය යුතු වයසේ. සුජීවගෙ මව්පියන් තමයි විවාහය ඉක්මන් කළේ.
අනෙක් අතට සුජීව අඳුනගෙන ආශ්‍රය කරද්දි මට තේරුණා ඔහු බොහොම හොඳ ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක් කියලා. මගේ අම්මයි තාත්තයි සුජීවගෙ පවුලේ අය බොහෝ කාලයක ඉඳන් දැනගෙන හිටි බව මම කලින් කිව්වා. අම්මයි තාත්තයිත් සුජීවට කැමති වුණු නිසා මට බයක් ඇති වුණේ නැහැ.
විවාහ වෙන්න කලින් දෙන්නා ආදරේ කරන කාලෙ සුජීව කිව්වද දරුවො ගොඩක් හදන්න ඕන කියලා?
දරුවො හත්දෙනෙක්ම හදනවා කියලා නම් අපි හිතුවේ නැහැ. හැබැයි සුජීව දරුවො ගොඩකට කැමැත්තෙන් හිටියේ.
විවාහ වෙද්දි දෙන්නගෙ හඳහන් බැලුවද?
ඔව්. විවාහයකට සුදුසු ලෙස හොඳින් හඳහන් ගැලපුණා. මට ඔබට කලින් දෙයක් කියන්න අමතක වුණා. අපේ විවාහය ඉක්මන් වෙන්න හඳහන් බලද්දි කියපු දේකුත් හේතුවක් වුණා. අපේ හඳහන්වලට අනුව විවාහයට සුදුසු ප්‍රබල නැකතක් මැයි තුන්වෙනිදා තියෙනවා කියල ජ්‍යොතිෂ්‍යවේදියා කියලා තිබුණා. ඒ නැකතට තමයි මැයි තුන් වෙනිදා අපි විවාහය ලියාපදිංචි කළේ.
දරුවො ගොඩක් ලැබෙනවා කියලා ජ්‍යොතිෂ්‍යවේදියා කියලා තිබුණෙ නැද්ද?
එහෙම නම් විශේෂයෙන් කියලා තිබුණෙ නැහැ. හැබැයි දරුවන් ලැබීමේ හොඳ වාසනා ගුණයක් තියෙනවා කියලා ඔහු කියලා තිබුණා.
විවාහයෙන් පස්සේ පදිංචි වුණේ සුජීවගෙ මහගෙදරද? නැත්නම් වෙනම ගෙදරකද?
අපි දැන් ඉන්න ගෙදර. සුජීව එතකොට මේ ගේ හදන්න පටන් අරන්. විවාහයෙන් පස්සේ වෙනම ගෙදරක පදිංචි වෙන්න ඕන කියන අදහසේ තමයි ඔහු මාව මුණ ගැහෙන්න කලින් ඉඳලම ඉඳල තිබුණේ. සුජීවගෙ මහගෙදර තියෙන්නෙත් අපේ ගේ ළඟමයි.
පළමුවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට සුජීව කැමැත්තෙන් හිටියේ පුතෙක්ටද? නැත්නම් දුවෙක්ටද?
කැමැත්තෙන් හිටියේ නම් පුතෙක්ට. හැබැයි ලැබුණේ දුවෙක්. පුතෙක් බලාපොරොත්තුවෙන් හිටියත් දුව ලැබුණම සුජීව දුවට හරිම ආදරේ වුණා. ඊටපස්සෙ සුජීව කිව්වා දෙවැනියත් දුවෙක් වුණොත් හොඳයි කියලා. කිව්වා වගේම දෙවැනියත් දුවෙක් වුණා. ඒ විතරක් නෙමෙයි, තුන්වැනියා, හතරවැනියා, පස්වැනියා වෙනකන්ම දුවලා ලැබුණේ.
හයවෙනියා පුතෙක් වුණහම සුජීව මොකද කිව්වේ?
තව පුතෙක් හදමු කිව්වා.
කිව්වා වගේම හත්වෙනියා පුතෙක් වුණා?
ඔව්. අපේ හත්වෙනි දරුවා පුතෙක්. මම ඔබට මෙතනදි තවත් දෙයක් කියන්න ඕනි. මාව හතරවෙනි වතාවට ප්‍රෙග්නන්ට් වුණු වෙලාවෙ ඒ දරුවා ස්වභාවික ගබ්සාවීමකට ලක්වුණා. එයත් ඉපදුණා නම් අපිට දරුවො අටදෙනෙක් ඉන්නවා.
දරුවො හත්දෙනෙක් බලාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ?
අපේ ලොකු දුවට දැන් වයස අවුරුදු දහනමයයි. අවුරුද්දයි මාස හතක් වෙන වැඩිම වයස් පරතරය තියෙන්නෙ ලොකු දුවයි දෙවෙනි දුවයි අතරේ. එතනින් පස්සේ දරුවො අතර වයස පරතරය එන්න එන්න අඩු වෙනවා. ඉතින් පුංචි කාලෙ බලාගන්න එක ලේසි වුණේ නැහැ. ව්‍යාපාර කටයුතු එක්ක සුජීව කොයිතරම් කාර්යබහුල වුණත්, කොච්චර මහන්සියෙන් ගෙදර ආවත් දරුවො අඬන වෙලාවට රෑ නිදි වරාගෙන එයාලව නලව ගන්න මට උදව් කළා.
ඔබේ අම්මයි සුජීවගෙ අම්මයි දරුවො බලාගන්න උදව් කළාද?
ඔව් අම්මලා දෙන්නම සෑහෙන උදව් කළා. මගේ අම්මගෙයි සුජීවගෙ අම්මගෙයි උදව් සෑහෙන පහසුවක් වුණා දරුවෝ ලොකු මහත් කරගන්න.
දරුවො රණ්ඩු කරගන්න වෙලාවල් එහෙම නැද්ද? කොහොමද ඒවා බේරන්නේ?
එහෙම වෙලාවල් නම් සෑහෙන තියෙනවා. දෙන්නෙක් ගෙදර එක කොණක රණ්ඩු කරගන්නකොට තවත් දෙන්නෙක් අනෙක් කොණේ රණ්ඩු වෙනවා. එහෙම නැත්නම් දෙන්නෙක්ගෙ රණ්ඩුවක් බේරලා අනිත් පැත්ත බලනකොට තවත් දෙන්නෙක් රණ්ඩු වෙනවා.
හැබැයි ඉතින් ඒවා ඒ වෙලාවට විතරයි. දරුවා හත්දෙනාගෙ පුදුම ආදරයක් එකමුතුකමක් තියෙන්නේ. හැමෝටම වෙන වෙනම කාමර තිබුණත් හත්දෙනාම එකම කාමරේ රෑට නිදාගන්නේ. මෑතක් වෙනකන්ම අපි නමදෙනාම නිදාගත්තෙ එක කාමරේ. දැන්නම් සුජීවයි මමයි නිදාගන්නෙ වෙනම කාමරේක.
දරුවො හත්දෙනෙක්ට කෑම ලෑස්ති කරන එක ලේසි වැඩක් නෙමෙයි. එක එක අය එක එක ආහාර වර්ග ඉල්ලන වෙලාවල් ඇති. ගෙදර වැඩවලට උදව්වට කවුරුහරි ඉන්නවද? නැත්නම් ඔබමද දරුවන්ට කෑම හදලා දෙන්නේ?
මෙහෙමයි. ගෙදරට උදව්වට එන අය වැඩි කාලයක් ඉන්නේ නැහැ. මොකද ඔබ කිව්වා වගේ හත්දෙනා කෑම ජාති හතක් ඉල්ලන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට කෑම හදන එක ලේසි නැහැ. ඉතිං මමම තමයි දරුවන්ගෙ කැම හදලා දෙන්නේ.
ලොකු දුවට දැන් දහනමයක් කියලා ඔබ කලින් කිව්වා. ඒ නිසා දැන් ඇයගෙ පාසල් ගමන නම් අවසන් වෙලා ඇති. අනිත් හයදෙනාම යන්නෙ එකම ඉස්කෝලෙටද?
ඔව්. හයදෙනාම යන්නෙ Colombo International School එකේ මහනුවර පාසලට. ලොකු දුව ගියෙත් ඒකටමයි. ඇය දැන් ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය ලබනවා.
අනිත් හයදෙනා කීවෙනි පංතිවලද ඉන්නේ?
දෙවෙනි දුව දොළොස්වෙනි ශ්‍රේණියේ. තුන්වෙනි දුව දහවෙනි ශ්‍රේණියේ. හතරවෙනි දුව අටවෙනි ශ්‍රේණියේ. පස්වෙනි දුව හත්වෙනි ශ්‍රේණියේ. හයවෙනියා පුතා හයවෙනි ශ්‍රේණියේ. හත්වෙනි පුතා පස්වෙනි ශ්‍රේණියේ.
හැමෝම උදේට ඉස්කොල යන්නෙ එකම වාහනේද?
ඔව්. හරියට පුංචි ස්කූල් වෑන් එකක් වගේ තමයි.
සුජීවට දරුවො හත්දෙනාගෙ උපන්දින මතකද?
සුජීවට අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඉතින් මම තමයි මතක් කරලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මම ඔබට තවත් දෙයක් කියන්නම්. අපේ එක දරුවෙක් අසනීප වුණොත් පෝලිමට අනිත් අයත් අසනීප වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට සුජීවට පටලැවිලා එකම දරුවට දෙපාරක් බෙහෙත් දෙන්න හදන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මම තමයි කියන්නෙ එයාට එක පාරක් බෙහෙත් දුන්නා එයාට නෙමෙයි අනිත් දරුවටයි දැන් බෙහෙත් දෙන්න තියෙන්නෙ කියලා.
අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රෙග්නන්ට් වෙනකොට ඔබේ මිතුරියන් ඔබට විහිළු කළේ නැද්ද?
දැන් ඔය ඇති, දැන් ඔය ඇති කියලා විහිළු කළ අවස්ථා සෑහෙන තියෙනවා. මගේ යාළුවන්ගෙන් දරුවො හත්දෙනෙක් ඉන්නේ මට විතරයි. අනිත් හැමෝටම ඉන්නෙ දරුවො දෙන්නයි නැත්නම් තුන්දෙනයි.
දරුවො හත්දෙනයි, ඔබයි, සුජීවයි ගෙදරින් එළියට ගිය වෙලාවල්වල අමතක නොවන සිද්ධි වෙලා ඇති. අපේ රටේදි වගේම පිටරටවලදිත් එහෙම මතක ඇති. ඒවයින් එකක් දෙකක් කියන්න පුළුවන්ද?
ඔව්. මම එහෙම සිද්ධි දෙකක් කියන්නම්. එකක් ලංකාවේ. අනික පිටරට. සුජීවයි මමයි දරුවො හත්දෙනයි එක අවුරුද්දක සිංගප්පූරුවටයි, මැලේසියාවටයි ටුවර් එකක් ගියා. අපි එළියට ඇවිදින්න ගියහම ඒ රටවල අයයි වෙන රටවලින් ආපු සංචාරකයොයි අපි දිහාම බලාගෙන ඉන්නවා. දරුවො හත්දෙනා පෝලිමට තියලා එයාලත් එක්ක ෆොටෝ ගන්නවා.
හැමෝම හරි ආදරේ වුණා අපේ දරුවන්ට. හැබැයි එහෙම ගියහම අපේ පුතාල දෙන්න තමයි ටිකක් බේරගන්න අමාරු. ෂොපින් මෝල්වලට එහෙම ගියහම අරහෙ දුවනවා මෙහෙ දුවනවා. උඩ නගිනවා. ලේසි නැහැ ඉතින්.
එතකොට ලංකාවෙදි වුණේ මොකක්ද?
අපි ගමනක් ගිහින් ආපහු ගෙදර ආවහම සුජීව නොවරදවාම දරුවන් ගණන් කරලා තමයි ගෙට ගන්නේ. ඩවුන් සවුත් ට්‍රිප් එකක් ගිහින් දවසක් ආපහු ගෙදර ඇවිත් ගෙට ඇතුල් වෙන දොර ළඟදි සුජීව දරුවන්ව ගණන් කළා. හයදෙනයි හිටියේ. ඒ වෙලාවෙ අපි දෙන්නා රත් වුණා. අපි හොඳටම මහන්සියෙන් හිටියෙත්.
ඉක්මනට ඒ වෙලාවෙ අපි වාහනේ බැලුවා. නොහිටිය කෙනා වාහනේ ඇතුළෙ සීට් එකක් උඩ ගුලිවෙලා හොඳටම නිදි. දරුවන් ගණන් කරන පුරුද්ද නොතිබුණා නම් එදා දරුවා එළිවෙනකන්ම වාහනේ ඇතුළේ. වාහනේ ලොක් කරලත් අපි ගෙට එන්න ආවේ. ඒ සිද්ධිය නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ඔබයි සුජීවයි අතරේ මත ගැටුම් ඇතිවෙන වෙලාවල් එහෙම නැද්ද?
අපිට එහෙම ආසාවට පුංචි රණ්ඩුවක් අල්ලන්නවත් වෙලාවක් නැහැ. මොකද මම දරුවන්ගෙ වැඩ එක්ක හොඳටම කාර්යබහුලයි. සුජීව ව්‍යාපාරික කටයුතු එක්ක හොඳටම කාර්යබහුලයි.
ඔබ සුජීවත් සමඟ විවාහ වෙනකොට ඔහු ඔහුගෙ පළමු හෝටලය ගොඩනගමින් හිටියේ. මේ වෙනකොට ඔහු දිගු ව්‍යාපාරික ගමනක් ඇවිත් තියෙනවා?
ඔව්. දැන් අපිට හෝටල් විස්සක් තියෙනවා. ඊට අමතරව සුජීව තේ ව්‍යාපාර ක්ෂේත්‍රයෙත්, මැණික් ව්‍යාපාර ක්ෂේත්‍රයෙත් කටයුතු කරනවා. කොරෝනා වසංගතය පැමිණීමත් එක්ක හෝටල් ව්‍යාපාර කටයුතු තරමක් අඩාල වුණු නිසා දැන් බේකරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරයකටත් යොමුවෙලා තියෙනවා. ඊට අමතරව සුජීව ලක්සල සභාපති වෙලත් හිටියා. ඒ වගේම දකුණ ආසියාවේ හොඳම ව්‍යවසායකයා ඇතුළුව ඔහු සම්මාන රැසක් දිනාගෙන තියෙනවා.
සුජීවගෙ ව්‍යාපාර කටයුතුවලට ඔබ උදව් කරනවද?
අපේ දරුවො පුංචි කාලෙ නම් ලොකුවට උදව් කරන්න බැරි වුණා. හැබැයි මම මගේ අදහස්වලින් සුජීවට උදව් කළා. දැන් දරුවො ලොකු නිසා එදාට වඩා සුජීවගෙ ව්‍යාපාර කටයුතුවලට උදව් කරන්න වෙලාව තියෙනවා.
දරුවො හත්දෙනෙක්ගේ අම්මා කෙනෙක් වුණත් ඔබ හරියට තිහක තිස්පහක තරුණියක් වගෙයි. ඔබේ ලොකු දුවයි ඔබයි හරියට අක්කයි නංගියි වගෙයි. ඔහොම සුන්දරව ප්‍රියමනාපව ඉන්න රහස මොකක්ද?
මම සාමාන්‍යයෙන් ජිම් එකට යනවා. ව්‍යායාම කරනවා. ඒක එක හේතුවක් වෙන්න ඇති. ඒ වගේම මම කාටවත් වරදක් නොකර හොඳින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ නිසා හැම මොහොතකම වගේ මගේ මනස තියෙන්නේ සතුටින් සහ සන්සුන්ව. මම හිතන විදිහට ප්‍රධානම හේතුව ඒකයි.
ඉතින් තවත් දරුවෙක් හදන්න අදහසක් නැද්ද?
සුජීව නම් තවත් දරුවෝ දෙතුන් දෙනෙක් වුණත් හදන්න කැමැතියි. ඔහු ඒ තරමට දරුවන්ට කැමැතියි සහ ආදරෙයි. හැබැයි මම අන්තිමට ප්‍රෙග්නන්ට් වුණු වෙලාවෙ දොස්තර මහත්තයා කිව්වා සාජහන්-මුම්ටාස් වගේ මේ කතාව ඉවර කරන්න හදන්න එපා කියලා. අපි අහල තියෙන අතීත කතාවට අනුව ඉන්දියාවෙ සාජහන් රජ්ජුරුවන්ගෙ අග බිසව වුණු මුම්ටාස් මහල් දේවිය මිය ගිහින් තියෙන්නෙ දහතුන් වැනි දරුවා ලැබෙන්න යනකොට.
තමන්ගෙ දේවිය මියගිය දුක දරාගන්න බැරුව තමයි ඇය සිහිවෙන්න සාජහන් රජ්ජුරුවෝ ටජ්මහල හදල තියෙන්නේ. අපේ වෛද්‍යවරයා සුජීවට කිව්වා ඔයාටත් ටජ්මහලක් හදන්න තමයි මෙහෙම ගියොත් වෙන්නෙ කියලා. මගේ සෞඛ්‍ය ගැන හිතලා මේ දරුවගෙන් පස්සෙ ආයෙත් දරුවො හදන්න එපා කියන එක තමයි දොස්තර මහත්තයගෙ අවවාදය වුණේ. මේ ළඟදි දවසකත් සුජීව ඕක මතක් කළා.
මොනවද ඔහු කිව්වේ?
දොස්තර මහත්තයගෙ අවසරය ලැබුණා නම් අපිට තවත් දරුවෙක් හදන්න තිබුණා කිව්වා.
හසිත කුරුප්පු – ධරණී පුවත්පත ඇසුරෙනි