උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන්වා, ඇයව බලහත්කාරයෙන් හා තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
2021 ජනවාරි 01 වන දින කොළඹ ගලදාරී හෝටලයේදී ඔක්සානා කර්පොවා නැමැති උස්බෙකිස්ථාන ජාතික කාන්තාව මෙලෙස ගණිකා වෘත්තිය සඳහා කුට්ඨනය කිරීම (Procuring for prostitution) සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 360 අ (1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
නඩු විභාගයේදී අනාවරණය වූයේ විත්තිකරු (ලෝරන්ස්) සහ ඔහුගේ උස්බෙකිස්ථාන ජාතික බිරිඳ (ජෙස්මින්) විසින් මෙම කාන්තාවට මසකට ඩොලර් 1500 ක වැටුපක් ලබාදෙන බවට හෝ දරුවන් බලාගැනීමේ රැකියාවක් දෙන බවට පවසා මෙරටට ගෙන්නාගෙන ඇති බවයි. පසුව ඇයගේ ගමන් බලපත්‍රය තබාගනිමින්, තර්ජනය කරමින් හා විවිධ දඩ මුදල් අයකරමින් කොළඹ හා මීගමුව ප්‍රදේශවල හෝටල් වෙත යවා ලිංගික සේවයේ යොදවා තිබෙනවා.
එලෙස ලබාගන්නා මුදල් විත්තිකරු විසින් පාලනය කර ඇති අතර, එක් අවස්ථාවකදී හෝටලයකදී ලිංගික සේවය ලබාගත් පාරිභෝගිකයෙකු විසින් ඉතිරි මුදල වූ රුපියල් 5,000 ක මුදල විත්තිකරුගේ පෞද්ගලික බැංකු ගිණුමට තැන්පත් කර තිබූ බවටද බැංකු වාර්තා හා සාක්ෂි මගින් තහවුරු වුණා.
පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මෙම බරපතළ සිරදඬුවම නියම කළා.
වසර 2020 අගභාගයේදී උස්බෙකිස්ථානයේ සිටි ඔක්සානා නමැති තරුණියට ශ්‍රී ලංකාවෙන් ආකර්ෂණීය යෝජනාවක් ලැබිණි. ඒ මෙරට සිටි ඇගේ රටේම කාන්තාවක වූ ‘ජෙස්මින්’ගෙනි. මසකට ඩොලර් 1500 ක ආදායමක් සෙවිය හැකි රැකියාවක් හෝ ඇගේ දරුවන් බලාගැනීමේ කාර්යයක් ලබාදෙන බවට ජෙස්මින් පොරොන්දු වූවාය. දිළිඳුකමින් මිරිකී සිටි ඔක්සානා, ජෙස්මින් එවූ ගුවන් ගමන් බලපත්‍රය හා වීසා උපයෝගී කරගෙන බලාපොරොත්තු රාශියක් ඇතිව ශ්‍රී ලංකාවට පැමිණියා.
නමුත් කටුනායක ගුවන්තොටුපළින් බැසගත් මොහොතේ සිට ඇගේ අවාසනාවන්ත කාලපරිච්ඡේදය ආරම්භ විය. ජෙස්මින් සහ ඇගේ ශ්‍රී ලාංකික ස්වාමිපුරුෂයා වූ ‘ලෝරන්ස්’ නැමැති ත්‍රිරෝද රථ රියදුරා ඇයව පිළිගෙන සෘජුවම මීගමුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගියහ. එදිනම ඇයව බලහත්කාරයෙන් විදේශිකයෙකුට ලිංගික සේවය සඳහා අලෙවි කෙරුණා.
පසුව ඇයව වැල්ලවත්තේ පිහිටි මහල් නිවාසයක රඳවා තබන ලද අතර, ඇගේ ගමන් බලපත්‍රයද ඔවුන් භාරයට ගන්නා ලදී. මෙරට භාෂාව හෝ කිසිදු නෑහිතවතෙකු නොසිටි ඔක්සානාට සිම් පතක් පවා නොමැතිව පූර්ණ ලෙස ඔවුන්ගේ ග්‍රහණයට නතුවීමට සිදු විය. “නිතරම නිදාගන්න එපා, නිකන් ඉන්න එපා, වැඩට පලයන්, නැත්නම් දඩ ගහනවා”යි කියමින් ලෝරන්ස් ඇයට නිතරම තර්ජනය කරමින් ගණිකා සේවයේ යෙදවුණා.
2020 වසරේදී ජෙස්මින් වෙනත් නඩුවකට බන්ධනාගාරගත වූ පසු, මෙම සියලු ජාවාරම්වල ප්‍රධානියා (‘Big Boss’) ලෙස කටයුතු කළේ ලෝරන්ස්ය. 2020 දෙසැම්බර් 31 රාත්‍රියේ ගලදාරී හෝටලයේ 1026 කාමරයට ඔක්සානාව යොමු කරනු ලැබුවේද ඔහුගේ අණ පරිදිය. එහිදී ලිංගික සේවය ලබාගත් පුද්ගලයා රුපියල් 35,000 ක් ඇයට ලබාදුන් අතර, ඉතිරි රුපියල් 5,000 ක මුදල පසුව ලෝරන්ස්ගේ බැංකු ගිණුමට තැන්පත් කර තිබුණා.
මේසේ දිර්ඝ කාලයක් තිස්සේ තමාට හිමිවිය යුතු මුදල් නොලැබීමත්, නොනවත්වා සිදුවූ පීඩනයත් හමුවේ ඔක්සානා තම මවට රහසින් තොරතුරු දැනුම් දුන්නාය. වින්දිත ඇයගේ මව විසින් උස්බෙකිස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාත්මක වී ඔක්සානාව මුදාගෙන රක්ෂිත නිවසකට යොමු කළා.
අධිකරණයේදී විත්තිකාර ලෝරන්ස් තමන් නිර්දෝෂී බවත්, ඔක්සානා ස්වයං කැමැත්තෙන් මෙහි පැමිණි බවත් පැවසීමට උත්සාහ කළද, ඉදිරිපත් වූ විද්‍යාත්මක, බැංකු හා සාක්ෂි මත පදනම්ව මහාධිකරණය තීන්දු කළේ මෙය පැහැදිලි ලෙසම සංවිධානාත්මකව සිදුකළ අපරාධයක් බවයි.
ඒ අනුව ලෝරන්ස්ට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.










