එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට අද (30) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක යන දෙදෙනා එම සැකකාරියට අධිකරණයේ ඇප තබා තිබුණ අතර එම ඇප මුදල් රාජ සන්තක කරනු ලැබුවා.
මිලියන 20 බැගින් වු ශරීර ඇප දෙකක් මත සැකකාරිය ඇප මත මුදා හැර තිබුණා.
ඒ අනුව අද දින මිලියන 20 ක මුදලක් අධිකරණයට ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දන්වා සිටියා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අද දින මිලියන 20 ක මුදල අධිකරණයට බාර දෙන ලෙසත් ඉතිරි මිලියන 20 ඇපය ඔක්තෝබර්17 වන දින ගෙවන ලෙසත් නියෝග කළා.
මේ වන විට එයාර් බස් ගනුදෙනුවට අදාලව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව මෙම සැකකාරිය අධිකරණය මග හැරීම නිසා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
සිද්ධියට අදාළව ඇපකරුවන් වු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක විවෘත අධිකරණයේ පෙනී සිටියා.













