එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසියට සමගාමීව ඉන්දීය තරුණ පරපුර, දේශගුණික ක්‍රියාමාර්ග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් ඉන්දීය හඬ ජාත්‍යන්තර වේදිකාවට රැගෙන යාමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඉන්දීය නියෝජිතයන් කටයුතු කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඉන්දීය තරුණ නියෝජිත සංජනා සංගී, තරුණ දේශගුණික නියෝජිත ප්‍රජක්තා කෝලි සහ තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් පෙනී සිටින භූමි පෙඩ්නේකර්, මහා මණ්ඩල සැසියට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා සහ වැඩසටහන් රැසකට එක්වී තිබෙනවා.
සංජනා සංගී අවධාරණය කර ඇත්තේ තරුණයන් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන්නන් ලෙස පමණක් නොව, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ හවුල්කරුවන් සහ තීරණ ගන්නන් ලෙසද පිළිගත යුතු බවයි.
ආසියා සහ පැසිෆික් කලාපයේ තරුණයන් මුහුණදෙන අභියෝග පිළිබඳ ඉහළ පෙළේ සංවාදයකටද ඇය එක්ව තිබෙනවා. තරුණයන්ට වැඩි තීරණ ගැනීමේ බලයක්, අවස්ථා සහ ඔවුන්ගේ ජීවිතවලට බලපාන තීරණ සම්බන්ධයෙන් සැබෑ සහභාගීත්වයක් ලබාදීමේ අවශ්‍යතාව ඇය එහිදී අවධාරණය කළ බව සඳහන්.
එමෙන්ම තරුණයන් සඳහා අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමේ වැදගත්කමද සංජනා පෙන්වාදී තිබෙනවා. තරුණයන් තීරණවල ප්‍රතිලාභ ලබන්නන් පමණක් නොව, එම තීරණ ගන්නා ක්‍රියාවලියේ ක්‍රියාකාරී පාර්ශ්වකරුවන් විය යුතු බව ඇය අවධාරණය කර තිබෙනවා.
දේශගුණික විපර්යාසයට එරෙහි ක්‍රියාමාර්ගද ඇගේ සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. හරිත ආර්ථික වර්ධනය, කාබන් විමෝචන අඩු කිරීම, ආයෝජන එක්රැස් කිරීම සහ සාධාරණ පරිවර්තනයක් සඳහා අවශ්‍ය පියවර පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ 2026 තිරසර සංවර්ධන ක්‍රියාකාරී සම්මාන සඳහා ඉහළ පෙළේ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස ප්‍රජක්තා කෝලිද එක්වී තිබෙනවා. එම සම්මාන විනිශ්චය මණ්ඩලයට එක් වූ පළමු ඉන්දීය ජාතිකයා ඇය බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරනවා.
දේශගුණික ක්‍රියාමාර්ග සහ පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා භූමි පෙඩ්නේකර්ද විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් හා වීඩියෝ මගින් සිය දායකත්වය ලබාදී තිබෙනවා.
සංජනා සංගී, ප්‍රජක්තා කෝලි සහ භූමි පෙඩ්නේකර්ගේ මෙම මැදිහත්වීම් තුළින් පොදු ජනතාවගේ සහ විශේෂයෙන් තරුණයන්ගේ හඬ සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමේ වැදගත්කම අවධාරණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා.
තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා තරුණයන් ඇතුළු වැඩි පිරිසකට තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව, වේදිකාව සහ සැබෑ බලයක් ලබාදීම අවශ්‍ය බවද එමගින් අවධාරණය කර තිබෙනවා.










