2026 වසරේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක් ඊයේ (01) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහ සම සභාපති, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා.
2026 වසර සඳහා මුලතිව් දිස්ත්‍රික්කය තුළ සංවර්ධන ව්‍යාපෘති 684ක වැඩ ආරම්භ කර ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 8,431.3ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.
ඒ අනුව, ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,620.7ක් ද, පළාත් සංවර්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 300ක් වෙනුවෙන් රුපියල් මිලියන 1,648.1ක් ද වෙන් කර තිබෙනවා.
අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර ක්ෂේත්රයන්හි සංවර්ධනය වෙනුවෙන් ද ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මේ යටතේ ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට නියමිතයි.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස හානි සිදුවූ පවුල් 1,121ක් වෙනුවෙන් එක් පවුලකට රුපියල් මිලියන පහ බැගින් ලබාදීමට නියමිත නිවාස වන්දි කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
කැඩී බිඳී ගිය වැව් දහයක් ප්‍රතිසංස්කරණය කිරීම සහ ‘වාරි මහිමය – අපේ උරුමය’ ඇතුළු සංවර්ධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
මීට අමතරව, ග්‍රාමීය පාලම් හා මාර්ග 55ක් ඉදිකිරීම සහ නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 852.7ක මුදලක් වෙන් කර ඇති අතර, ‘ප්‍රජාශක්ති – ගම් දහසක්, වැඩ දහසක්’ වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 136ක් සඳහා රුපියල් මිලියන 363.87ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් හා විධිමත්ව ක්‍රියාත්මක කිරීම, වෙන් කර ඇති ප්‍රතිපාදන ඵලදායීව යොදාගැනීම සහ නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ජෙගදීස්වරන් සහ එස්. තිලගනාදන් ඇතුළු වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ජේකාන්තන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුණා.










