සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමග එක්ව 2018 වසරේදී පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් රැස්කළ ගිනි අවියක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබීම ඇතුළු චෝදනා යටතේ අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී මේ වන විට ඇප මත මුදා හැර ඇති විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමට සුදානම් බව අධිකරණය හමුවේ සඳහන් කළා.
නඩුව කැඳවු අවස්ථාවේ දී විත්තිකරුවන් ප්‍රකාශ කලේ තමන්ට එරෙහිව ඇති සියලු චෝදනා පිළිගෙන වරද පිළිගැනීමට සුදානම් බවයි.
එලෙස ප්‍රකාශ කල විත්තිකරුවන් වන්නේ අබු හනීෂා මොහොමඩ් මුසීත් සහ අමිර් හමසා මොහොමඩ් හමාස්,යන දෙදෙනායි.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම් සහ ඔවුන්ගේ ස්ථාවර මතය ඉදිරිපත් කිරිම සඳහා ලබන 05 වැනිදා නැවත නඩුව කැඳවන ලෙසයි.
ලබන සඳුදා දින සිට දිනපතා විභාග කරන බවද විනිසුරු මඩුල්ල අද (02) දැනුම් දුන්නා.
ඒ අනුව ලබන ඔක්තෝබර් 05 වැනිදා සිට නඩුව දිනපතා කැඳවීමට නියමිතයි.
මෙම නඩුව ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල විනිසුර මඩුල්ල හමුවේදී කැඳවනු ලැබුවා.
2018 වසරේ පුපුරන ද්‍රාව්‍ය ලෙස සැලකෙන නයිට්‍රේට් තොගයක්, ජීව උන්ඩ දොළහක්, ගිනි අවියක් සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නයිට්‍රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අබු හනීෆා මොහොමඩ් මුසිෆ්, අමිර් හමසා මොහොමඩ් හමාස්, මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ , මෙහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මෙහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් යන ඇතුළු පාස්කු මහ නඩුවේද විත්තිකරුවන් වන සිව් දෙනෙකුද ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 14ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.










