AFC Banner
Empty Ad
Empty Ad

මෝදිට ඇමෙරිකාවෙන් සුපිරි සැලකුම් ලැබුණේ ඇයි ?

මානව හිමිකම් පිළිබඳ සැලකිල්ල හේතුවෙන් නරේන්ද්‍ර මෝදිට වරෙක එක්සත් ජනපදයට ඇතුළු වීමට වීසා ලබාදීම පවා ප්‍රතික්ෂේප කෙරුණා.

එවන් නායකයෙකු අද වන විට එක්සත් ජනපදය ඉහළ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටකෝලයට අනුව පිළිගනු ලබන්නේ, නරේන්ද්‍ර මෝදි තීරණාත්මක හවුල්කරුවෙකු ලෙස ඔවුන් දකින නිසාවෙනි.

පසුගිය දින කිහිපයේ දී ඇමරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ නරේන්ද්‍ර මෝදිට ලැබුණේ සුපිරි පිළිගැනීමෙන් ඇමෙරිකාවට මේ මොහොතේ ඉන්දියානු සාධකය කොතරම් වැදගත් වේ දැයි මනාව පැහැදිලි වනවා.

මෙම සංචාරය පිළිබඳ මාධ්‍යවේදීන් සමඟ කතාබහක දී ධවල මන්දිර බලධාරීන් සඳහන් කර තිබුණු කරුණක් වූයේ වර්තමානයේ මෙන්ම අනාගතය දෙස නෙත් යොමන විට ඇමරිකාවට වැදගත්ම සබඳතාවය වනුයේ ඉන්දියාව සමඟ බවයි.

ඉන්දු-පැසිෆික් කලාපය යනු එක්සත් ජනපදයට මේ මොහොතේ වෙනත් ඕනෑම තැනකට වඩා ඉන්දියාවේ බලපෑම අවශ්‍ය විය හැකි ස්ථානයයි.

චීනය සහ ඇමරිකාව අතර වර්ධනය වන තරගය ඊට ප්‍රධාන හේතුවක්.

ඉන්දියාව මේ වන විට ලෝකයේ ආර්ථික වශයෙන් දීප්තිමත් ස්ථාන කිහිපයෙන් එකක් බවට පත්ව ඇත්තේ භූ දේශපාලනික වාසිය ද ඒ හා සමානවම අත්පත් කරගනිමින්.

චීනය වෙනුවට නිෂ්පාදන විකල්පයක් සොයන “චයිනා ප්ලස් වන්” ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවල් සහ ගෝලීය සමාගම් සඳහා, වර්ධනය වන මධ්‍යම පන්තියක් සහිත විශාල වෙළඳපොළක් හිමි ඉන්දියාව ඉතා හොඳ විකල්පයක්.

මෝදිගේ ඇමරිකානු සංචාරයට සමගාමීව විවිධ ද්විපාර්ශවික එකඟතා ගණනාවක් පිළිබඳ කරුණු ප්‍රසිද්ධ කෙරුණා.

එහිදී විශේෂයෙන්ම ආරක්ෂක අංශයෙන් දෙරට අතර වන සම්බන්ධතා වැදගත් තැනක් ගෙන තිබුණා.

ඉන්දියාව සමඟ හවුල්කාරිත්වය එක්සත් ජනපදයට වඩාත්ම ප්‍රතිඵලදායක සබඳතාවලින් එකක් වන අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේ දී වොෂින්ටනය ආර්ථික සබඳතා පුලුල් කිරීමට සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක වෙදාන්ත් පටෙල් කල් වේලා ඇතුවම පවසා තිබුණා.

ඉන්දියාව ලොව විශාලතම ආයුධ ආනයනකරු වන අතර රුසියාව තවමත් එහි සියයට 45ක වැඩි කොටසකට හිමිකම් කියන බව 2017 – 2022 කාලය තුළ දත්ත විශ්ලේෂණයේදී පෙන්නුම් කරයි.

නමුත් අවධානය යොමු විය යුතු තැන එතැන නොවෙයි.

2016 දක්වාම රුසියාව ආයුධ සැපයුමේ සියයට 65කට කොටසකට හිමිකම් පෑ බවයි.

එක්සත් ජනපදය අවස්ථාවක් දකින්නේ එතැනයි.

වොෂින්ටනයේ කොටස වර්ධනය වී ඇති නමුත් එම ප්‍රමාණය සියයට 11ක් වන අතර තවමත් ප්‍රංශයේ 29% ට වඩා අඩු අගයක්.

එබැවින් මේ සංචාරයේදී දැවැන්ත ආරක්ෂක ගනුදෙනු සඳහා සැලකිය යුතු ඉඩක්වෙන්ව තිබුණා.

ඒ අනුව මෝදිගේ සංචාරය අතරතුර ඉන්දියානු ගුවන් හමුදාවට අවශ්‍ය ප්‍රහාරක යානා එන්ජින් නිපදවීම පිළිබඳ ජෙනරල් ඉලෙක්ට්‍රික් සහ හින්දුස්ථාන් එයරොනොටික්ස් සමාගම් අතර ඓතිහාසික ගිවිසුමක් ඇති කරගනු ලැබුවා.

එමෙන්ම ජෙනරල් ඇටමික්ස් සමාගම නිපදවන MQ-9B SeaGuardian ඩ්‍රෝන 31ක් ඉන්දියාව මිලදී ගැනීමේ ගිවිසුමකටද අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය අතරතුර අත්සන් තැබුවා.

අන් කිසිදු රටක් සමඟ ඇතිකරගනු ලැබුවාට වඩා වැදගත් ආකාරයේ ආරක්ෂක තාක්ෂණික හුවමාරුවක් ඇමරිකානුවන් විසින් ඉන්දියාව සමඟ ඇතිකරගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළා.

මීට අමතරව අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව, සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ආදී කරුණු පිළිබඳ ද දෙරට අතර එකඟතා රැසක් ඇති කරගත් බව නිවේදනය කෙරුණා.

අනාගතයේ තීරණාත්මක සාධක දෙකක් වන චිප් නිපදවීම සහ ඛනිජ සම්පත් සැපයුම් දාම පිළිබඳ සහයෝගය ගොඩනැගීම පිළිබඳ වැදගත් එකඟතා ද දෙරට අතර ඇති කර ගනු ලැබුවා.

ඇමරිකානු මෙමරි චිප් නිෂ්පාදකයකු වන මයික්‍රොන් සමාගම ගුජරාට් ප්‍රාන්තයෙහි ඉදිකරන කර්මාන්තශාලාවක් සඳහා ඩොලර් මිලියන 825 ක් ආයෝජනය කිරීමට සූදානම් බව මෙම සංචාරායේදී නිවේදනය කෙරුණා.

මීට අමතරව ඇමරිකාව ප්‍රමුඛ වී රටවල් දොළහකින් සහ යුරෝපා සංගමයෙන් සැදුම්ලත් ව ඒකරාශී වී ඇති අත්‍යවශ්‍ය ඛනිජ ලෝහ සැපයුම්දාම සහයෝගීතාවයක් වන Mineral Security Partnership (MSP) සඳහා ද ඉන්දියාව එක්වන බව නිවේදනය කළා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ජාතීන් දෙක අතර සහයෝගීතාවයෙන් මානව ව්‍යවසායයේ කිසිදු කොනක් ස්පර්ශ නොකළ බව අවධාරණය කළා.

මුහුදේ සිට අහසේ තරු දක්වා, හවුල්කාරීත්වයන් එම ඒකාබද්ධ ප්‍රකාශයට ඇතුලත්ව තිබුණා.

ලෝක දේශපාලනයේ ඉන්දියානු සාධකය

ලෝකයේ බල තුලනය මේ වනවිට නැවත වෙනස් වෙමින් පවතිනවා.

අද කතා බහට ලක්වෙන ප්‍රධාන කරුණක් නම් බහු ධ්‍රැවීය ලෝකයක් යන සංකල්පයයි.

එමෙන්ම ඉන්දියාව විසින් ගෝලීය දකුණ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රබල හඬක් ලෝක වේදිකාවේ මතු කරමින් සිටින්නේ තුන්වන ලෝකයේ නායකයා වීමේ අපේක්ෂාවෙන්.

එමෙන්ම ඉන්දියාව ඉතා සියුම් දේශපාලන ක්‍රීඩාවක නිරත වෙමින් සිටින්නේ එක් පැත්තකින් ඇමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙමින් අනිත් පැත්තෙන් බටහිර සම්බාධක නොතකා රුසියාවෙන් බොරතෙල් මිලට ගෙන බටහිරට විකුණමින්.

තවත් අතකින් දේශසීමාවේ බරපතල ආතතියක් මධ්‍යයයේ වුවද බ්‍රික්ස්, ෂැංහයි කෝපරේෂන්, G20 වැනි වේදිකාවල චීනය සමග සහයෝගයෙන් කටයුතු කරයි.

එසේ තිබියදීම චීනය සමඟ හිමාලයානු දේශසීමාවක් බෙදා ගන්නා උත්තරකාන්ද් ප්‍රාන්තයේ පසුගිය වසරේ එක්සත් ජනපද හමුදා සමඟ ඉන්දියාව හමුදා අභ්‍යාසයක් සිදු කළ අතර, බීජිං හි කෝපාවිෂ්ඨ ප්‍රතිචාර නොතකා, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජපානය ද ඇතුළත් Quad සඳහා දිල්ලිය දිගටම ක්‍රියාකාරීව සහභාගී වනවා.

ප්‍රථමයෙන් ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේත්, පසුව ජෝර්ජ් බුෂ් පාලනය යටතේත් – එක්සත් ජනපදය බැරෑරුම් ලෙස ඉන්දියාව සමග සබඳතා ගොඩනගා ගැනීම පටන් ගත් දා සිට ඉන්දියා-එක්සත් ජනපද සබඳතාව බොහෝ උස් පහත්වීම් අත්විඳ තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු විසින් ආරම්භ කරන ලද නොබැඳි ක්‍රමෝපාය සෑම විටම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියට ගැඹුරින් මුල් බැස තිබෙන කරුණක්.

ඉන්දියාව කිසි විටෙකත් එක් කඳවුරක සිටීමට හෝ ගෝලීය සුපිරි බලවතෙකුගේ කනිෂ්ඨ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සිටීමට කැමති නොවීය.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ “උපායමාර්ගික පරාර්ථකාමිත්වය” ලෙස ඇතැමුන් විස්තර කරන පරමාදර්ශ මෝදි අත්හැරියේ නැහැ.

නමුත් මෝදි මහතා සැලකිය යුතු තරම් ආර්ථික හා භූ දේශපාලනික ශක්තියක් ඇති වෙනස් ආකාරයක ඉන්දියාවකට නායකත්වය දෙමින් සිටිනවා.

ආර්ථික වශයෙන් හා භූගෝලීය වශයෙන් ඉන්දියාව විශාල විභවයක් සහිත රටක්.

එහෙයින් සෑම බලවතකුටම ඉන්දියාව අවශ්‍ය වනවා.

ලෝක දේශපාලනය තුළ ඉන්දියානු සාධකය මගහැර යා නොහැකි සාධකයක් වී තිබෙන්නේ ඒ නිසාවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?