දේශීය ණය ප්‍රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි

දේශීය ණය ප්‍රශස්තකරණය නිසා, අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිත වන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසනවා.

එම සංගමයේ සාමාජික, ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා මහතා සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය සිදු නොකළේ නම් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් වල තිබූ මුදල් සේවකයින්ට අහිමිවීමේ අවධානමක් තිබූ බවයි.

ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජික, ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රසල් ෆොන්සේකා මහතා:

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ අවශ්‍යතාව අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ක්ෂේත්‍ර අතර විශාල පරතරයක් තිබෙනවා.

නිදහසෙන් පසුව වසර කිහිපයක් හැරුණු කොට ආනයනයෙන් අපට වියදම් වන ඩොලර් ප්‍රමාණයත්, අපනයනයෙන් අපට ලැබෙන ඩොලර් ප්‍රමාණයත් අතරත් විශාල වෙනස්කමක් තිබුණා. මෑත කාලය ගතතොත් වසරකට සිදු කරන ආනයනය සඳහා පමණක් ඩොලර් බිලියන විස්සක් අවශ්‍ය වෙනවා. නමුත් අපනයනයෙන් අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 12 ක් පමණයි. එම හිඟය පියවා ගැනීම සඳහා පැවැති ආණ්ඩු සිදු කළේ ණය ලබා ගැනීමයි. දිගින් දිගටම මෙවැනි ණය ගැනීමත්, එම වසරේ වෙළෙඳ ශේෂයට වඩා පෙර ගනු ලැබූ ණයවල පොලිය ගෙවීමට සිදුවීමත් නිසාත් විශාල අර්බුදයකට රට තල්ලු වුණා. ඒ හා සමගාමීව සංවර්ධන කටයුතුවලටත් ණය ලබා ගැනීමට සිදු වුණා.

ශ්‍රී ලංකාවට රටක් ලෙස දරාගත හැකි ප්‍රමාණයට වඩා ණය ගැනීමට සිදුව තිබුණා. එහි ප්‍රතිඵලය 2022 අප්‍රේල් මාසය වන විට රටට දැනෙන්න පටන් ගත්තා. ඒ වන විට මහ බැංකු අධිපතිතුමාට ප්‍රකාශ කිරීමට සිදු වුණා ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නැහැ කියලා. අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපට සපයාගන්න බැරි වුණා. විදෙස් රටවල් අපට ණය දුන්නෙත් නැහැ. අවසානයේ ණය අර්බුදය රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑවා.

ඉන් පසුව රටේ ව්‍යාපාර හිමියන්ට, කර්මාන්තකරුවන්ට ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා. ඇතැමුන්ගේ රැකියා පවා අහිමි වුණා. අවසානයේ මෙය සමාජ ගැටලුවක් බවට පත් වුණා. ජනතාව පාරට බැස අරගල කිරීමට පටන් ගත්තේ ඉන් අනතුරුවයි. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් යම්කිසි සහනයක් ලබා ගැනීමට රජයට සිදු වුණා.

සැබෑ තත්ත්වය දෙස බැලීමේදී ණය ගෙවීමට අපට ආදායමක් නැහැ. ණය ගෙවීම ආරම්භ කිරීමට පෙර අප යම් වැඩපිළිවෙළකට යා යුතුයි. එම වැඩපිළිවෙළ සකස් කිරීම තමයි දේශීය ණය ප්‍රශස්තකරණයේදී සිදු වෙන්නේ. දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ දී අමරිකානු ඩොලර් බිලියන 84ක ණයක් ගෙවන්න තිබෙනවා. මෙය දේශීය සහ විදේශීය වශයෙන් ගත් ණයවල සමස්ත එකතුවයි. ඩොලර් බිලියන අසූ හතරක් ගෙවන්න තරම් ආර්ථිකයක් ලංකාවට තිබුණෙ නැහැ. එම ණය මුදලෙහි පොලිය සෑම වර්ෂයේම ඉහළ නැංවෙමින් තිබුණා. ඒ අවස්ථාවේ තමයි ආර්ථික අර්බුදය ඇති වුණේ.

මෙම ඩොලර් බිලියන 84 ක ණය ගෙවීමට අප යම්කිසි වැඩපිළිවෙළකට යා යුතුව තිබුණා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විදේශ ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවකට පැමිණ යුතු වෙනවා. එසේ එකඟතාවකට පැමිණි පසු ණය කපා හැරීම සිදු කළ හැකියි. ණය කපා හැරීමේ දි තමයි දේශීය ණය ප්‍රශස්තකරණය කරලියට පැමිණියේ. මොකද කිසිඳු විදේශීය ණයකරුවෙක් කැමති වන්නේ නැහැ, දේශීය ණය ප්‍රශස්තකරණය නොකර ඔවුන්ගේ ණය පමණක් ප්‍රශස්තකරණය කිරීමට.

මෙරට බැංකු තැන්පත්කරුවන්ට බලපෑමක් සිදු නොවන අයුරින් දේශීය ණය ප්‍රශස්තකරණයට රජය, මුදල් අමාත්‍යංශය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සහයෝගය ලබා දීම සතුටට කරුණක්. දේශීය ණය ප්‍රශස්තකරණයේදී තැන්පත්කරුවන්ට කිසිදු අලාභයක් හෝ බලපෑමක් ඇති නොවන බව අප වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම බැංකු පොලියටත් මෙයින් බලපෑමක් සිදු වෙන්නේ නෑ. ස්ථාවර තැන්පතු සඳහා අදාළ පොලිය වලංගු කාලය දක්වා ගෙවීමට බැංකු බැඳී සිටිනවා. එම ස්ථාවර තැන්පතු බලපෑමට ලක් වුණා නම්, අද වන විට ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තබා නැහැ.

විශ්‍රාම වැටුප් ගෙවීමට සහ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට බැදුම්කර විශාල ප්‍රමාණයක් ලබා දී තිබුණා . එම මුදල් රජය ලබා ගනිමින් සහන පොලියක් ලබා දී තිබෙනවා. මෙතැනදී භාණ්ඩාගාර බැඳුම්කර කපා හැරීමක් සිදු වෙන්නේ නෑ. ඒ සඳහා වන අනෙකුත් විකල්ප විසඳුම් දෙකක් භාවිතා කරනවා. එයින් එකක් වන්නේ පොලී අනුපාතය අඩු කිරීමයි. අනෙක ණය ගෙවීම කල්දැමීමයි. ඒ නිසා බැඳුම්කර කප්පාදුවට නොගිහින් ඊළඟ විකල්ප දෙක භාවිතා කිරීම තමයි මෙහිදී සිදු කරන්නේ.

මේ නිසා ඊපීඑෆ්/ ඊටීඑෆ් ඇතුළු අරමුදල්වල තිබුණු සේවකයින්ගේ මුදල් සුරක්ෂිත වෙනවා.

ඒ වගේම 2025 දක්වා මේ අරමුදල් සඳහා 12%ක පොලියක් ගෙවීමට රජය සහතික වී තිබෙනවා. ඉන්පසුව ගිණුම් කල්පිරෙන දිනය දක්වා 9%ක සහතික පොලියක් ගෙවනවා. ඇතැම් අයට තර්කයක් ගොඩනඟන්න පුළුවන් බලාපොරොත්තු වූ පොලී ආදායම ලැබෙන්නේ නැහැ කියලා. නමුත් මේ වන විට පොලී අනුපාත විශාල ප්‍රමාණයකින් අඩුවෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සේවක අරමුදල් සඳහා රජය සහතික වී තිබෙන පොලී මට්ටමටම වෙළෙඳ පොලියත් පැමිණේවි කියලා. උද්ධමනය අඩුවීමත් සමග සේවක අරමුදල්වලට රජය ලබාදෙන පොලි ආදායම ඉහළ ප්‍රමාණයක තිබෙනවා. කෙසේ වෙතත් මේ පොලී ආදායම් ප්‍රශ්නය බලපාන්නේ දායක අරමුදල් සඳහා පමණයි. අනෙකුත් අරමුදල් සඳහා අඩු වෙන මුදල අදාළ ආයතන මගින් පියවිය යුතුයි. එම නිසා සේවකයාට කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ.

රට මුහුණ පා ඇති මෙම ආර්ථික අර්බුදය විසඳීමෙන් පසුව රට තුළ නව රැකියා අවස්ථා බිහි වෙනවා, උද්ධමනය අඩු වෙනවා. මෙම වැඩපිළිවෙ‌ළෙන් ආර්ථික වාසි රැසක් රටට ලැබෙනවා. රටට අවශ්‍ය භාණ්ඩ, ඖෂධ අපට පහසුවෙන් ලබාගත හැකි වෙනවා.

ඉන්පසුව නව ව්‍යාපාර බිහි වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. යම්කිසි කැපකිරීමක් කර අප ඒ තත්ත්වය උදාකරගත යුතුයි. එසේ නොවුණහොත් රට යළිත් ආර්ථික අර්බුදයකට පත්වීම වළක්වන්න බැහැ.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සඳහා බැංකු සංගමය සහ දේශීය බැංකු සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ අනුව බැංකු පොලිය අඩු කිරිමට සැලසුම් කර තිබෙනවා. එම පොලී අනුපාත අඩු කිරීම ඉදිරි මාස දෙක තුළදී අපට දකින්න ලැබේවි. අඩු පොලිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, අපනයන කර්මාන්තයේ නියැළී සිටින්නන්ට මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ටත් තම ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට බැංකු සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගයත් බැංකුවල තිබෙන එකමුතුකමත් නිසා මෙම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට දායකවීමේ හැකියාවක් බැංකුකරුවන්ට තිබෙනවා. ඒ සඳහා බැංකුකරුවන්ට විශාල ශක්තියක් ලැබී තිබෙනවා. ඉදිරියේදී අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන ණය මුදල් අඩු පොලී අනුපාතයක් යටතේ ලබා දිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30