වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ලැබූ ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවකට පහර දී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහිව පූර්ව නඩු විභාගය ජූලි මස 21වැනි දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි එම නියෝගය නිකුත් කෙරුණේ.
එහිදී විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාගය සඳහා ජූලි මස 21 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළා.
2023 වසරේදී ආර්.රාජ කුමාරි නමැති දෙදරු මවක් අත්අඩංගුවට ගෙන සිටියදි පහර දී මරා දැමීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනු කර තිබෙනවා.
එහි විත්තිකරුවන් ලෙස වැලිකඩ පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන බවත් වාර්තා වනවා.
සුධර්මා නෙත්තිකුමාර නමැති කාන්තාවකගේ නිවසේ සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් රාජ කුමාරි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.





