spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මව්වරුන්ගේ දිනය අදයි

අද ලෝක මව්වරුන්ගේ දිනයයි. සෑම වසරකම මැයි මස 14 වැනිදා අම්මාවරුන්ගේ දිනය ලෙස නම් කර තිබෙනවා.

ලොව වටා රටවල් සියල්ලම පාහේ මවටත්, මාතෘත්වයටත් ගරු කිරීම සහ ඇගයීම උදෙසා වසරකට වරක් සැමරුම් දිනයක් වෙන්කර තිබෙනවා.

මෙම දිනය රටින් රටට වෙනස් වුවත්, බොහෝවිට මාර්තු හෝ මැයි මාසවල දී මවුවරුන්ගේ දිනය සමරන ජාතීන් බහුලයි.

වර්තමානයේ මව්වරුන්ගේ දිනයේ සැමරුමට සම්බන්ධයක් නොමැති වුවත්, ක්‍රිස්තු පූර්ව යුගයන්වල පවා මාතෘත්වය සමරනු ලැබූ බවට සාධක හමුව තිබෙනවා. ආදි ග්‍රීකයින් සහ රෝමානුවන් මේ අතරින් විශේෂයි. ආසියාවේ වන්දනාමාන කෙරුණු “කිබලේ” නම් මාතෘ දේවතාවිය පිදීමට රෝමානුවන් විසින් “හිලේරියා” නම් උත්සවයක් පවත්වනු ලැබුවා. එමෙන්ම රීආ නම් මාතෘ දේවතාවිය පිදීමට ද පුරාතන යුගයේ මෙවැනි උත්සව පැවැත්වුණා. මෙම චාරිත්‍ර විධි වල බලපෑමෙන් වර්තමාන මවුවරුන්ගේ දිනය බිහිවූවා යැයි මතයක් පැතිර ඇතත්, එහි සත්‍යතාවයක් නැහැ.

එමෙන්ම ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානුවන් විසින් සමරනු ලබන “Mothering Sunday” නම් උත්සවය ආශ්‍රිතව මව්වරුන්ගේ දිනය ඇරඹුනා යැයි ද මතයක් ඇතත්, එම උත්සවයේ දී ඔවුන් විසින් තමාව බෞතීස්ම කරනු ලැබූ “මාතෘ” පල්ලියට යෑම විනා, “මාතෘත්වය” සැමරීමක් නම් නොකරන බව කිව යුතුයි.

කෙසේ නමුත්, සුළුතරයක් සංස්කෘතීන් සහ ජාතීන් වලට අයත් ජනයා පුරාතනයේ සිට පැවතෙන මෙම උත්සවයන් ආශ්‍රිතව දී මව්වරුන්ගේ දිනය සමරනවා වීමට ඉඩ කඩ තිබෙනවා.

වර්තමානයේ අප විසින් සමරන මවුවරුන්ගේ දිනය ප්‍රථම වරට සැමරුණේ 1908 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ, බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ දී යි. ඇනා ජාර්විස් නම් සමාජ ක්‍රියාකාරිනියක් විසින් ග්‍රැෆ්ටන් හි ශාන්ත ඇන්ඩෲගේ මෙ‍තෝදිස්ත පල්ලියේ දී තම මව අනුස්මරණය කරමින් පැවත්වූ උත්සවයක් මෙම ජාත්‍යන්තර සැමරුම් දිනයට උපත ලබා දුන්නා. 1905 වසරේ සිටම ජාර්විස් විසින් මෙය නිල සැමරුම් දිනයක් බවට පත්කිරීමට උත්සාහ ගනිමින් සිටියා. 1908 දී ඇමරිකානු කොන්ග්‍රසය විසින් මෙම දිනය නිල වශයෙන් පිළිගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් ඉවත දැම්මේ ඉන්පසු “නැන්දම්මාවරුන්ගේ දිනයක්” ද හඳුන්වා දීමට සිදුවනු ඇතැයි කියමින්. කෙසේ නමුත් ජාර්විස්ගේ උත්සාහය ද ජනතා සහායද නිසා 1911 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී මෙම උත්සවය නිල වශයෙන් සමරනු ලැබුවා.

මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ මෙම දිනය ආරම්භ වූයේත්, ලොව පුරා සැමරෙන්නේත් “මවගේ දිනය”, එනම් Mother’s Day යනුවෙන් මිස, අප වහරේ සඳහන් වන ආකාරයට සියළු මවුවරුන්ගේ දිනය ලෙස නොවීමයි. මෙම දිනයට උපත ලබා දුන් ජාර්විස් විශේෂයෙන්ම අවධාරනය කළේ මෙම දිනයේ දී සිදුවිය යුත්තේ සෑම පවුලක් විසින් එම පවුලේ මවට උපහාර පිදීම විනා, සමස්ථයක් ලෙස මව්වරුන්ව උපහාරයට ලක්කිරීම නොවන බවයි. කෙසේ නමුත් වර්තමානයේ දී එම මූලික අරමුණ වෙනස් වී තිබෙනවා.

1908 දී පළමුවෙන්ම මව්වරුන් සැමරුන ග්‍රැෆ්ටන් හි ශාන්ත ඇන්ඩෲස්ගේ පල්ලිය වර්තමානයේ දී ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයේ දේවස්ථානය (International Mother’s Day Shrine) ලෙස හැඳින්වෙනවා.

මවුවරුන්ගේ දිනය ලොව වටා රටවල් 46ක සැමරෙනවා. මේ රටවල් අතරින් බොහොමයක් ඇමරිකා එක්සත් ජනපදය අනුගමනය කරමින් මැයි මස දෙවන ඉරු දිනයේ මෙම උත්සවය සමරනවා. ඇතැම් ක‍තෝලික රටවල මරිය තුමියගේ දිනයේදීත්, තවත් රටවල කාන්තා දිනයේදීත් මෙම උත්සවය සැමරීම සිදුවෙනවා.

මෙම දිනයේදී බොහොමයක් ජනයා තම මව වෙනුවෙන් පල්ලියේ දී යාඥා කරන අතර, තම මව කෙරෙහි ඇති ආලය දැක්වීම පිණිස ත්‍යාගයන් සහ මල් ලබා දෙනවා.

1920ගණන්වල මුල් භාගයේ දී හෝල්මාක් සමාගම ඇතුළු තවත් සමාගම් ගණනාවක් මවුවරුන්ගේ දින සුබ පැතුම්පත් වෙළඳපොළට හඳුන්වාදුන්නා.

ජාර්විස් මෙම අදහසට විරුද්ධ වුණේ එමඟින් මෙම සැමරුම් දිනය වාණිජකරණයට ලක්වන බවට පෙන්වා දෙමිනුයි. වෙළඳ සමාගම් මගින් මෙම දිනයේ මූලික අරමුණ විනාශ කරමින්, එම දිනයේ වැදගත්කම සූරාකන බව විශ්වාස කළ ඇය, මව්වරුන්ගේ දිනය වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ඇරඹූ අතර, අදාල සමාගම් වලට විරුද්ධව නඩු පවරන බවට ද තර්ජනය කළා.

ජාවිස්ගේ තර්කය වූයේ සිදුවිය යුත්තේ තම මව කෙරෙහි ඇති හැඟීම් දක්වමින් තමන් විසින්ම තම මවට ලිපියක් ලියනවා හෝ කාඩ්පතක් සාදනවා විනා, මිළදී ගත් සුබපැතුම් පතක් ඇය වෙත යැවීම නොවන බවත් එසේ කිරීමෙන් මෙම දිනය සැමරීමේ මූලික හරය විනාශ වන බවත්ය.

මෙම විරෝධතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස මහජන සාමයට බාධා කරන බවට චෝදනා කරමින් 1925දී ජාර්විස්ව සිර භාරයට ගනු ලැබුවා.

ජාවිස් මැතිණිය 1948 නොවැම්බර් 24 වැනි දින මිය ගිය අතර ඇයව ෆිලඩෙල්ෆියා හි බටහිර ලෝරල් හිල් සුසාන භූමියේ යි තැන්පත් කරනු ලැබුවේ. එදින ග්‍රැෆ්ටන්හි මෙතෝදිස්ත පල්ලියේ සීනුව ඇයට ගෞරවය පිණිස 84 වතාවක් නාද වූයේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 84 ක් බැව් සනිටුහන් කිරීම වෙනුවෙන්. සුසානයට සැතපුම් හතරක් ඔබ්බෙන් පිහිටි ඇනා ජාවිස් උපන් නිවස කෞතුකාගාරයක් ලෙසින් තවමත් පවත්වා ගෙන යනු ලබනවා.

මව්වරුන්ගේ දිනයේදී දූ දරුවන් එක්ව මව්වරුන් සතුටින් තැබීම පිණිස විවිධ අන්දමේ උත්සව සංවිධානය කෙරෙන අතර ආහාරපාන, ඇදුම් පැළදුම්, ඔවුන් ප්‍රිය කරන විවිධ තෑගි බෝග පිරිනැමීම පමණක් නොව ඔවුන් විනෝද චාරිකාවන්ට සහභාගි කරවා ගැනීම ද සිදු වීම සිදු වනවා.

සංගීත ප්‍රසංග සහ විවිධ ආගමික උත්සව ද මව්වරුන් ගේ දිනයේදී සුලභ ලෙස දැකගත හැකියි. දුර බැහැර ප්‍රදේශයන්හි සේවයේ නිරත දූ දරුවන්, තෑගි භෝග රැගෙන සිය මවුවරුන්​ගේ සුවදුක් බැලීමට පැමිණීමද මවුවරුන්ගේ දිනයේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවට පත්ව තිබෙනවා. තම දරුවන් මැනවින් හදා වඩා ඔවුන් රටේ දැයේ උන්නතියට උර දීම පිණිස සමාජය වෙත යමු කිරීමට එහා ගිය සුවිසල් කාර්ය භාරයක් මව්වරුන් වෙතින් ඉටුවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

වර්තමානයේ දී බහුතරයක් ලාංකිකයින් විසින් මවුවරුන්ගේ දිනය සමරනු ලබනවා.

විවිධ සමාගම් විසින් මල්, සුබපැතුම් පත්, ඇඳුම් පැළඳුම් වලට විශේෂ වට්ටම් ලබාදෙන නිසා බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ මව්දින සැමරුම තම මවට මල් පොකුරක් හෝ සුබපැතුම් පතක් ලබාදීමට සීමා වී තිබෙනවා.

ඔබේ මවට ඔබේම අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබියදී වෙනකෙකු විසින් ලියන ලද යමක් ඔබේ මවට ලබා දෙන්නේ ඇයි? මිළදී ගත් සුබපැතුම් පතකට වඩා, ඔබ අතින්ම ලියැවුණු කවියක්, පද පේළි කීපයක්, හෝ ඔබ විසින්ම සාදන ලද කාඩ්පතක් ඔබේ මව අගය කරනු ඇති නේද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?