AFC Banner
Empty Ad
Empty Ad

පෝලිම්වල දී මියගිය අපේ කාලයේ මිනිසුන්ගේ කතාව

පෝලිම් මේ දිනවල ප්‍රධාන මාතෘකාවකි. පවතින ආර්ථික අර්බුදයත් සමඟ රටේ විවිධ ස්ථානවල හටගෙන ඇති තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්, කිරිපිටි පෝලිම් ඇතුළු මෙකී නොකී පෝලිම් බොහොමයකි. පෝලිම් නිසා රටේ ජනතාව බොහෝ සේ පීඩාවට පත්ව සිටී. විශේෂයෙන් ම විකල්පයක් නොමැති ජනයා තෙල්, ගෑස් පෝලිම්හි පැය ගණන් ළතැවෙමින් සිටී.

පෝලිම් නිසා ගෙවී ගිය දින කිහිපයේ ශෝකීජනක පුවත් කිහිපයක්ම රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූයේ හද කම්පා කරවමිනි. පෝලිම්වල පැය ගණන් ළතැවීම නිසාවෙන් මිනිස් ජීවිත 4ක් ගෙවී ගිය දින කීපයේදී අහිමි වී ගියේ ඛේදනීය ලෙසිනි. එකී මිනිස් ජීවිත හතර අහිමි වී ගියේ මහනුවර, කඩවත, නිට්ටඹුව සහ මීරිගම ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් අසලදියි.

පෝලිම් වල ‘කට්ට‘ කෑම නිසාවෙන් වූ ඒ මරණ අතර නිට්ටඹුවෙන් වාර්තා වූ ‘පෝලිම් මරණය’ ඝාතනයකි.

ඉකුත් මාර්තු 20 වැනිදා රාත්‍රී 8.30ට පමණ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව හොරගොල්ල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් BAS 5684 දරන යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට පැමිණියේ කොළඹ 14, සිරිමුතු උයන පදිංචිව සිටි අවිවාහක පුද්ගලයකු වන 29 හැවිරිදි තුවාන් මිල්ෂාන් තාජුඩින් නමැත්තායි.

ධීවර රැකියාවේ නියුතු වූවකු වූ තාජුඩින් පැය ගණනක් දිගු පෝලිමක සිට ඉන්ධන පොම්පය අසලට පැමිණ සිටියදී පෝලිම මඟ හැර පැමිණියේ ත්‍රිරෝද රථයකි. එම ත්‍රිරෝද රථයේ පැමිණියේ 38 හැවිරිදි දෙදරු පියකු වන බී. ඒ. නුවන් ප්‍රියදර්ශන නමැත්තෙකි. ඔහු නිට්ටඹුව, පනාවල පදිංචිකරුවෙකි. නුවන් ප්‍රියදර්ශන සිය ත්‍රිරෝද රථයට පෝලිමෙන් පිට පැන තෙල් ලබාගැනීමට තැත් කිරීමේදී තාජුඩින් ඊට විරෝධය පළ කළේය. දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවන ආකාරය පිරවුම්හලේ සීසීටීවී කැමරාවන්හිද සටහන් වී තිබිණි.

පෝලිමෙන් පිට පැන ත්‍රිරෝද රියට තෙල් ලබා ගැනීමෙන් පසු නුවන් ත්‍රිරෝද රථය ඉන්ධන පිරවුම්හලෙන් පිටතට ගෙන අසල නුවර – කොළඹ මාර්ගයේ නතර කරගෙන සිටියේය. යතුරුපැදියට තෙල් ලබාගත් තාජුඩින්ද ත්‍රිරෝද රථය ගිය දෙසට ගමන් කරන්නට වුවත් ඔහුට වැඩිදුරක් යෑමට නොහැකි විය. ත්‍රිරෝද රථයේ සිටි නුවන් තාජුඩින්ගේ යතුරුපැදිය ඉදිරිපිටට පැන ඔහුට පිහි පහරක් එල්ල කළේය.

පිහි ඇනුමෙන් යතුරුපැදිය සමඟ ඒ ස්ථානයේ ඇද වැටුණු තාජුඩින් පිරිසක් වතුපිටිවල රෝහලට ඇතුළත් කළේය. එහෙත් ඉතා සුළු සිදුවීමක් නිසා තාජුඩින්ගේ ජිවිතය වතුපිටිවල රෝහලේදී මෙලොව හැර ගියේ ඉතාම අවාසනාවන්ත අන්දමිනි.

ඝාතනය අපරාධයෙන් පසු ඇඳුම් බෑගයක්ද රැගෙන ප්‍රදේශයෙන් පලා යාමට තැත් කළ සැකකර නුවන් නිට්ටඹුව නගර ආසන්නයේදී සිදුවීමෙන් පැය කිහිපයක් ගතවෙද්දී එනම් 21 වැනිදා අලුයම නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

අත්අඩංගුවට පත් නුවන් මාර්තු 21 වැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ සැකකරු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

ඉකුත් දින කිහිපයේ වූ පෝලිම් මරණ 4න් පළමුවැන්න වාර්තා වූයේ මහනුවර ඉන්ධන පිරවුම්හලක් අසලිනි. ඒ මාර්තු 19 වැනිදායි. මහනුවර, යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් ලබා ගැනීමට පැය හතරක පමණ කාලයක් පෝලිමේ රැඳි සිටි 71 හැවිරිදි හනිෆා මෙහොමඩ් ඉල්ලියාස් මරණයට පත් වූයේ එදින සවස් යාමයේයි.

පාතදුම්බර, දෙරගමුව පාර, උඩතලවින්න පදිංචිව සිටි හනිෆා දහවල් 11.30ට පමණ නිවෙසින් ගොස් පැය 4ක පමණ වේලාවක් භූමිතෙල් පෝලිමේ සිටියදී සවස 3.30ට පමණ එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇත. ඇද වැටුණු හනිෆා ඉල්ලියාස් රෝහල් ගතකිරීමටද බොහෝ වේලා ගොස් තිබුණේ කිසිවෙක් ඇද වැටුණු ඉල්ලියාස් අසලට ළං නොවීම නිසායි. අනතුරුව 1990 ගිලන් රථයකින් මහනුවර ජාතික රෝහලට රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂාවේදී ඉල්ලියාස් මියගොස් ඇති බව අනාවරණය විය.

ඔහුගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබුණේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් ඉල්ලියාස්ගේ මරණය සිදුව ඇති බවයි. එලෙස ධමනියක් පුපුරා යාමට මූලික ලෙසම හේතු වී ඇත්තේ දැඩි ආතතියෙන් පෙලීම බවත් වෛද්‍ය මතය වී තිබේ.

මොහොමඩ් ඉල්ලියාස් පොලිස් දෙපාර්තමේන්තුවේ සිවිල් සේවාවේ වසර 30ක පමණ කලක් රාජකාරි කළ රජයේ සේවකයෙකි. ඉල්ලියාස්ට පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනෙකි. පිරිමි දරුවන් දෙදෙනා විදෙස් රැකියාවල නියුතු වූවන්ය. ගැහැනු දරුවන්ද විවාහ වී වෙන්ව සිටී. ඉල්ලියාස් බිරිය සමඟ තනිව විසුවේය. සහෝදර සහෝදරියන් නවදෙනකු සිටින ඉල්ලියාස්ගේ මරණය පිළිබඳව ඔහුගේ වැඩිමහල් සහෝදරයකු වන මොහොමඩ් නිසාම් මාධ්‍යයට කීවේ,

“මල්ලි එදා උදේම ගිහින් තියෙන්නෙ අද නම් කොහොමහරි භූමිතෙල් හොයාගෙන එනවා කියලයි. එයාට ආරංචි වෙලා මහනුවර ඉන්ධන හලක භූමිතෙල් තියෙන බවට. අන්තිමට අපිට ලැබුණේ භූමිතෙල් නොව මල්ලිගේ මළකඳ. මගේ බාල සහෝදරයා කාටවත් කරදරයක් නොවුණු හොඳ මනුස්ස ගතිවලින් පිරුණු පුද්ගලයෙක්. එයා පසුගිය දවස් ටිකේම බොහොම දුකින් හිටියේ. එයාගේ නෝනා භූමිතෙල්, ගෑස් නැතිව කෑම උයන්න විඳින දුක ගැන හිතමින්…“

ඉල්ලියාස්ගේ මරණය තෙල් පෝලිම්වලින් වාර්තා වූ පළමු මරණයයි. ඔහුගේ අවාසනාවන්ත මරණය සැල වී ගත වූයේ පැය කිහිපයකි. තෙල් පෝලිමක තවත් හද කම්පා කරවන මරණයක් වාර්තා වූයේ කඩවත නගරයේ ඉන්ධන පිරවුම් හලකිනි. ඒ මරණය සැල වූයේ මාර්තු 20 වැනි ඉරිදා පෙරවරු 11.30ට පමණය. තම ත්‍රිරෝද රථයට පෙට්‍රල් ලබා ගැනීමට පැය ගණනාවක් පෝලිමේ සිටියදී ඇද වැටී මියගොස් සිටියේ 73 හැවිරිදි සමරවීර ආරච්චිගේ එඩ්මන් රිචඩ් පෙරේරා නමැත්තායි. ඔහු මාකොළ දකුණ, සිරිමංගල පාර, හයවැනි පටුමගේ පදිංචිව සිටි ත්‍රිරෝද රථ කුලි රැකියාවේ නියුතුව සිටි අයෙකි.

රිචඩ් පෙරේරා එදින පෙරවරුවේ මාකොළ ප්‍රදේශයේ සිට කඩවත ප්‍රදේශයට ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් පැමිණීමෙන් පසු කඩවත පොලිසිය ආසන්න සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ එතරම් ජනකායක් නොවූ හෙයින් ත්‍රිරෝද රථයට තෙල් ලබා ගැනීමට පෝලිමට එක්ව සිටියේය. පැය කිහිපයක් පෝලිමේ සිටියදී එක්වරම ඔහු ඇද වැටී ඇත.

රිචඩ්ගේ ඇද වැටීම කඩවත පොලිසියට දන්වා සිටීමත් සමඟ කඩවත පොලිසියේ ත්‍රිරෝද රථය පැමිණ ඔහුව රාගම රෝහලට ඇතුළු කිරීමට එම ස්ථානයේ සිටි පිරිස සමඟ පොලිස් නිලධාරීහු කටයුතු කළහ. රිචඩ් පෙරේරා ඇද වැටුණු බව පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ බිරියට සැල කිරීමත් සමඟ ඇයද එම ස්ථානයට පැමිණියාය. රිචඩ්ගේ බිරිය 71 හැවිරිදි රාණි හේමලතා එම ස්ථානයට පැමිණිය ද තම සැමියා මියගොස් ඇති බව ඇය විශ්වාස නොකළාය. සිය සැමියා පොලිස් ත්‍රිරෝද රථයට නංවා රෝහලට රැගෙන යද්දීත් රාණි සැමියාගේ සිරුර එහෙට-මෙහෙට සොලවමින් රිචඩ්ට පණ තිබේදැයි පිරික්සන්නට වූයේ බලා සිටියවුන්ගේ නෙතඟට කඳුළක් එක්කරමිනි.

රිචඩ්ගේ බිරිය රාණි හේමලතා මාධ්‍ය ඉදිරියේ පවසන්නට වූයේ,

“මගේ මහත්තයට කාලෙක සිටම දියවැඩියාව තිබුණා. බෙහෙත් ගත්තා. ඊට අමතරව පපුවේ අමාරුවත් තිබුණා. පපුවේ අමාරුවටත් බෙහෙත් ගන්න ගමන් හිටියේ. එයා උදේ හයර් එකක් යනවා කියලා කඩවත පැත්තට ආවේ ඉක්මනට එන්නම් කියලා.“

රිචඩ්ගේ මරණයත් ඔහුගේ වයස අනුව දැඩි මානසික අව පීඩනයකින් ගත කිරීම නිසා වූ හටගත් සංකූලතා නිසා සිදුවූ බව පැහැදිලිය. පෝලිම්වල සිදුවූ සිවුවැනි මරණය ලෙස තවත් අවාසනාවන්ත මරණයක් මීරිගම නගර මධ්‍යයේ බෝ ගස අසල වූ ඉන්ධන පිරවුම්හලේදී සිදු විණි. ඒ, ඉකුත් 21 වැනිදා පෙරවරුවේයි.

එදින මීරිගම ඉන්ධන හලෙන් බූලිවලට ඉන්ධන ලබා ගනිමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස රැකියාව කළ 76 හැවිරිදි අතුකෝරලලාගේ ජයරත්න වික්‍රමපාල නමැත්තා එම ස්ථානයේදී මියගොස් සිටියේය. දරුවන් සයදෙනෙකුගේ පියකු වන මීරිගම, නවාන පදිංචිව සිටි ජයරත්න වික්‍රමපාල ත්‍රිරෝද රථයකින් පැමිණ පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. පසුව වික්‍රමපාල කෑන් දෙකකට ලබාගත් ඉන්ධන ත්‍රිරෝද රථයට ගෙන ගොස් තබා ඇත. තුන්වැනි කෑනයද රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම ඇද වැටී ඇත.

අනතුරුව ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් ඇද වැටුණු වික්‍රමපාල ක්ෂණිකවම ගිලන් රියකින් මීරිගම මූලික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කළත් ඔහු ඒ වන විටත් මියගොස් සිටියේය.

මියගිය වික්‍රමපාලගේ මරණ පරීක්ෂණ ඉකුත් 21 වැනිදා මරණ පරීක්ෂිකා සමන්ති පස්යාල විසින් පැවැත්වීය. මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ වික්‍රමපාලගේ මරණය හෘදයාබාධයක් නිසා සිදුවූ මරණයක් බවයි. මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් වික්‍රමපාලගේ දියණියක් වන අනුෂා සිරන්ති වික්‍රමපාල පවසා සිටියේ තම පියා කලෙක සිටම හෘදයාබාධයකින් පෙළුණු බවත් ඊට ප්‍රතිකාර ලබමින් සිටි අයකු බවයි. එසේම තම පියා හෘදයාබාධය හේතුවෙන් වසරකට වැඩි කාලයක් තිස්සේ රාගම රෝහලින් ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවත් හෙළි කළාය.

පෝලිම්වල ළතැවීමෙන් වූ මෙකී මරණ හතරෙන් තිදෙනකුගේම වයස අවුරුදු 70ට වඩා වැඩිය. තාජුඩීන්ගේ මරණයත් මානසිකව ඇද වැටුණු මිනිසුන්ගෙන් පිටවන ම්ලේච්ඡත්වය විදහා පාන්නකි. වැඩිහිටියන් වන සැමට අධික ලෙස තෙහෙට්ටුවට පත්ව මානසිකව ආතතියට පත්වීම වයසට යද්දී ඉතාම අහිතකර තත්ත්වයක් බව වෛද්‍ය නිර්දේශයයි. ඒ නිසා වැඩිහිටියන් මේ දිනවල පවත්නා නොයෙක් පෝලිම්වල පැය ගණන් ළතැවීම නුවණට හුරු නොවේ. පවතින අර්බුදයට මුහුණ දිය යුතු වුවත් ඒ සඳහා තම දරාගැනීමේ මට්ටම ගැන අවදියෙන් සිටීම වැදගත් ය.

(උපුටාගැනීම – සිළුමිණ පුවත්පතින්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?