09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද (23) දිවුරුම් දුන්නා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාළව පැවති ඡන්ද විමසීමේ දී ඡන්ද 5,634,915ක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

නව ජනධිපතිවරයා දිවුරුම්දීමේ අවස්ථාවට විදෙස් තානාපතිවරුන්, දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියා.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාල භූමියෙන් පිටත ද අනුර කුමාර දිසානායකගේ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වනවිට රැස්ව සිටිනවා.

මේ අතර නව ජනාධිපතිවරයා තෝරා පත් කිරීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින්.