ජීවිතය යනු නොනවත්වා දිවෙන ගමනාන්තයක් නොමැති එක්තරා ආකාරයක මහ පුදුම ගමනක්.මනුෂ්‍යා යනු ඒ ගමන තුළදී නොයෙක් දේ රැස් කරගනිමින්,එක් කර ගනිමින්,බෙදා ගනිමින්,අහිමි කරගනිමින්,විවිධාකාර හිමි අහිමි බොහෝ දේ විඳ දරාගන්නා මගියෙකු පමණයි.ඔබ අප මම රැස් කරගන්නා කිසිවක් නොමැතිව හිස් අතින්ම අවසන අපට ගමන් කරන අතරතුරදී මොන යම් හෝ නැවතුමකින් නතර වන්නට සිදු වේ.ජීවිතය යනු එයයි.මේ උතුම් පෝය දවසේදී ගිහි ජීවිතයේ බොහෝ සේ සැප සම්පත් විඳ එක් නිමේශයකින් ඒ සියල්ල අත්හළ පිනැති බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකට අප ගෞරවයෙන් ආරාධනා කරනු ලැබුවේ මනුෂ්‍යය ජීවිතයේ විවිධාකාර තැන් දහමින් සාකච්ඡා කරමින් සංවාදයක යෙදීම පිණිසයි.
ගෞරව පූරක නමස්කාර ආරාධනය පූජ්‍ය මාතර විජයසීහ ස්වාමීන් වහන්සේටයි..
අවසරයි ස්වාමින්වහන්ස!
තෙරුවන් සරණයි!
අපේ හාමුදුරුවනේ ජීවිතය කියන දේ ඇත්තම අරුත මොකක්ද?
ජීවිතයේ අරුත කියන කාරණාව සාපේක්ෂ දෙයක්.ජීවිතයේ අරුත මම දකින විදියට නෙමෙයි දුව දකින්නෙ,දුව දකින විදිහට නෙමෙයි වෙනත් කෙනෙක් දකින්නෙ.බුදුදහමත් එක්ක ජීවිතේ කියලා කියන්නේ කසාද බඳින එක වත් දරුවෝ හදන එක වත් සල්ලි හම්බකරන් ජීවත් වෙනවා කියන එකවත් නෙමෙයි.මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නෙ නැවත වරක් ඉපදීම නැති කරගන්න.දෙවිකෙනෙකුට වත් ආයෙත් ඉපදෙන්නේ නැතුව ඉන්න බෑ.ඒත් මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන කෙනාට උත්සහ කලෝතින් නිවනට යන්න පුළුවන්.ඒක තමයි ජීවිතයේ නියම අර්ථය.මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ විශාල පිනකට.ධර්මය තුළින් ජීවිතය දකිනවා නම් ඒ ජීවිතයේ අර්ථය තමයි නිවෙන්න අවශ්‍ය මාර්ගය හදා ගැනීම.ඒක තමයි ජීවිතයේ අරුත.
ඇයි ඔබ වහන්සේ මහණ වෙන්න හිතුවේ?
මම ඒක අවබෝධ කර ගත්ත නිසා.මම රස්සාවක් කළා.මට පුංචි කාලයක් තිබ්බා,මට තරුණ කාලයක් තිබ්බා.මං හැම දෙයක්ම කලා.අපේ තරුණ ළමයි ගේ වචනයෙන් ම කිව්වොත් මම ලෝකෙ කාලා වතුර බීපු කෙනෙක්.ලෝකේ කාල වතුර බිව්වා කියලා කියන්නේ අපි ගොඩක් දේවල් කරා කියන එකනෙ.මමත් ගොඩක් දේවල් කරලා තියෙනවා මගේ පෞද්ගලික ජීවිතය තුළ,මගේ තරුණ ජීවිතය තුළ.ඒත් ඒ දේවල් වල කිසිම අර්ථයක් නෑ.මම උදේට රස්සාවට ගියාම,හවසට ගෙදර එන්නේ කරපු හැමදේම අතීතට එකතු කරලා.දැන් කතා කරන මොහොතක් තව ටිකක් වෙලා ගියාම ඒකත් පරණ දෙයක්.මේ ජීවිතයේ අලුත් වෙන දෙයක් නෑ.ඉතිං අතීතයේ ගැන හිත හිත ශෝක වෙන්න අපිට පුළුවන් අනාගතය ගැන මව මව අපිට හීන මවන්න පුළුවන්.මේවා හරි සරලයි හැබැයි ඒව මනුෂ්‍යයකුට අදාළ කරගත හැකි දේවල් නෙවෙයි.මට තේරුණා මේක මහ කරදරයක් මේක මහා ප්‍රශ්න වැලක්,යළිත් වතාවක් ඉපදුනොත් තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කියන දේ.ලොව්තුරා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අති දුර්ලභ කාරණාවන් පහක් ගැන.ඒත් පහම දැන් මට තියෙනවා.ඒත් සමාජ ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ 4යි.ඒ තමයි බුදු කෙනෙක් පහළ වීම,මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම,නිරෝගී සම්පත් ලැබීම,ධර්ම ශ්‍රවණය,පැවිදි ජීවිතයකට එලඹීම හා ඇතුලින් උපසම්පදාව ලැබීම,මට මේ පහම තියෙනවා.මම බුදුන්ගේ ශාසනයේ ඉන්න කෙනෙක්.මට නිරෝගි නිරෝගී සම්පත්තිය තියෙනවා.මම මනුස්සයෙක්,මම ධර්මය දේශනා කරනවා,මම භික්ෂුවක්.
පුංචි කාලේ ඉදන්ම මට පින පව ගැන ලොකු අවබෝධයක් තිබුණා.ඒ කාලේ මම ක්‍රීඩකයෙක් පහු වෙනකොට මාධ්‍යවේදියෙක්.මේවා අසීමිත පින් අපි ගාව තියන.හැම කෙනෙක්ටම මාධ්‍යවේදීයෙක් වෙන්න බෑ.හැම කෙනෙක්ටම ක්‍රීඩකයෙක් වෙන්න බෑ.ඒවා අපි භුක්ති විඳින්න ඕන.
පැවිදි ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ යම් අවබෝධයකින්.මම පැවිදි ජීවිතයට එන්න කලින් මම පැවිදි වෙන්නත් කලින් ගොඩක් ලංකාවෙ අය මාව පැවිදි කරලා තිබ්බා.පැවිදි වෙන්න හේතු පාඨ සඳහන් කරපු පිරිසකුත් ලංකාවේ හිටියා.මම දන්නෙත් නැතුව මට හේතු දීපු උදවිය හිටියා.කලකිරීමක් ඇති වෙලා පැවිදි වුණා කියපු අය හිටියා,ආයතනය තුළ ප්‍රශ්න ඇති කරගෙන පැවිදි වුණා කියපු අය හිටියා,මේ වගේ එක එක කතන්දර හැදුවා.ඒ කිසිම දේකට මම උත්තර දෙන්නෙ නැත්තෙ මේ කිසිම දේකින් මට වැඩක් නෑ.මම පැවිදි වුණේ මේ ජීවිතයේ තියෙන නියම වටිනාකම අවබෝධ කරගෙන විතරයි.මම පුංචි කාලේ ඉඳන්ම ධාර්මික ජීවිතයක් ගත කළා.ඒ විදියටම මම මගේ තරුණ ජීවිතේ වින්දා.ඊට පස්සේ මම පැවිදි දිවියට ඇතුළත් වුණා.අද ලක්ෂවාරයක් මම සතුටෙන් ජීවත් වෙනවා.
ඔබ වහන්සේ ගිහි ජීවිතය තුළ ලංකාවෙම ජනප්‍රියත්වය ආදරය දිනාගත්ත කෙනෙක්.පැවිදි වෙනවා කියන තීරණය තනිවම ගන්න අපහසුයි කියලා අපි දන්නවා.යාලුවෝ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ අත්හැරීම ලේසි දෙයක් නෙවෙයි.ඔබ වහන්සේ මේ හැමදේම අත්හැරියෙ කොහොමද?
එක තත්පරයයි.එක නිමේෂයයි.එක දශමයයි මට අත් හරින්න පුළුවන් වුණා.හේතුව අපි අවබෝධයක් ඇතිකර ගන්න ඕනේ මේ හැමදේම අනිත්‍යයි.මේ ඇළ දොළ මහ මුහුද දවසක හිඳිලා යනවනම්,මේ ලෝකය වෙනස් වෙනවා නම් ඊට එහා වෙන දෙයක් තියනවද.මගේ තාත්තා මං ඉස්සරහ ඇස් දෙක පියා ගත්තා,මගේ ආච්චි මං ඉස්සරහ ඇස් දෙක පියා ගත්තා,ඉතිං මටත් කවදාහරි වෙන්නේ ඇස් දෙක පියා ගන්න තමයි.මගේ මල්ලිත් ඇස් දෙක පියා ගත්තා,මගේ ලොකු අයියත් ඇස්දෙක පියාගත්තා.ඉතින් මොකක්ද මේ ජීවිතේ.මගේ ජනප්‍රියත්වය නම් මොනවද,ලෝක හිටියේ රෝස කුසුම තමයි ඩයනා කුමරිය,දැන් අපි ඩයනා කුමාරි ය ගැන නිකන්වත් කතා කරනවද.එයා කවුරු වෙලා ඉපදිලා ඉන්නවා ද කියලා ඉන්නවද කියල අපි දන්නව ද.
ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ ම ඉඳපු මිනිස්සු මැරිලා ගිහින් තියෙනවා.ඉතින් මොකක්ද මේ ජීවිතේ අපි කවදා හරි මැරෙනවනෙ.ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය ලබා ගන්නවා නම් අපි හැමදේම අතහරින්න ඕන.මම පැවිදි ජීවිතයට එන්නේ නිවන අවබෝධ කරගන්න.මම නිවන් අවබෝධ කරගන්න ඇවිල්ලා වෙන වෙන ව්‍යාපාර කරනවා නම්,මම දුරාචාරයේ හැසිරෙනවා නම්,ඒක අවබෝධයක් නෙමෙයි.ඒක තමන්ටම කරගන්නා මහා විශාල වංචාවක්.ඒ නිසා යම් දෙයක් අවබෝධ කරගන්න පුළුවන් මානසික ශක්තියක් අපිට අවශ්‍යයි.ඒ ශක්තිය ඇති කරගන්න පුළුවන් කෙනාට සියලු දේ අත හරින්න පුළුවන්.මම මගේ ජීවිතය තුළ මගේ ශරීරය පවා අතහැරලා ජීවත් වෙන කෙනෙක්.මේ ශරීරයට සබන් ගාන්න,පුයර ගන්න,සම්භාහනය කරන්න,මට කවදාකවත් සිතුවිල්ලක් නෑ.
ගිහි ජීවිතය තුළ මට තිබුනොත් පුදුම සැපක්.මම ඇඳුමෙ පාටට සපත්තු දෙක දැම්මා,සපත්තු දෙකේ පාටට බෙල්ට් එක දැම්මා.ඒව මං කළා. ඒවා මං වින්දා.ඒත් දැන් මම භික්ෂුවක් විදියට මට අතහරින්න කිසිම දෙයක් නෑ.දැන් මම පයට සෙරෙප්පු දෙකක් වත් නැතුව ගල් ඇනි ඇනි යනවා.මම දැන් ඒකට පුරුදු වෙලා.පුදුමාකාර විදියට අත්හැරීම ප්‍රගුණ කරගෙන ජීවත් වෙන්න පුළුවන් වුනොත් ජීවිතේ කිසිම බරක් නෑ.බුදුහාමුදුරුවො කියල තියෙනව පැවිද්දා හරියට පරවියෙක් වගේ කියලා.පරවියට වඩා මොනරා ලස්සනයි තමයි.ඒත් මොනරාගේ පිහාටු මොනරාට බරයි.පරවියට එහෙම දෙයක් නෑ.ඉතිං මගේ අත්තටු මට බර නැහැ මම නිදහසේ පියඹ ගෙන යනවා.
අපේ හාමුදුරුවනේ ඇයි මිනිස්සු මේ තරමටම බැඳීම් පස්සේ දුවන්නෙ?
මිනිස්සු බැඳීම් පස්සේ දුවන්නේ ඒ අය හිතනවා මේ හැමදේම තමන්ගෙ කියලා.දුව කල්පනා කරලා කරල බලන්න දැන් දුව කී දෙනෙකුට බැඳිලා ඉන්නවා ද කියලා.අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉස්සෙල්ලම බැඳෙන්නෙ අම්මට.අම්මා ඇස් දෙක පියා පියාගන්නකම්ම අම්මත් එක්ක තියෙන බැඳීම නැවතෙන්න නෑ.අපි සමාජයට ගියාම එක එක්කෙනා එක එක්කෙනා එකතු වෙලා තවත් බැඳීම් හදාගන්නවා.තවත් කෙනෙක් නැතුව ජීවත් වෙන්න බෑ කියන එකම වංචාවක්.
අපි ඉපදෙන්නෙ තනියම,මැරෙන්නෙත් තනියම.ඔය ටික කාලෙදි මහා බැඳීම් ගොඩක් අපි හදා ගන්නවා.බැඳීම් කියන්නේ මාරයෝ.අපි බැඳීම් හදාගන්නම අපේ යම් යම් අවශ්‍යතා වෙනුවෙන්.ඉපදෙනකොටම අම්මගෙන් කිරි ටික ඕන නිසා අම්මා එක්ක අපි බැඳීමක් ඇති කර ගන්නවා.අපි බැඳීම් එක්ක බැඳෙන කොට අපි දන්නෙ නෑ මේ බැඳීම් හැමදේම දුකකින් තමයි ඉවර වෙන්නෙ කියලා.මේ ලෝකයේ සදාතනික බැඳීමක් කියලා දෙයක් ඇත්තෙම නෑ.තාත්තත් මමත් අතර තිබ්බ බැඳීම අවසන් වුණේ තාත්තාගේ අවසාන හුස්ම ටිකෙන්.තාත්තා මාත් එක්ක තිබ්බ බැඳීම අවසන් කළාට මම තාත්තා එක තිබ්බ බැඳීම අවසන් කරලා නෑ.ඒ නිසා තමයි මම දානමාන දෙන්නෙ.හැබැයි තාත්ත දැන් වෙන ලෝකෙකට ගිහින් වෙන උප්පත්තියක් ලබලා.ඒ කියන්නේ තාත්තා මට තිබ්බ බැඳීමෙන් මිදිලා දැන් වෙන බැඳීමක් ඇති කරගෙන.බැඳීමකින් ඉතුරුවෙන්නෙ යුතුකම් ටිකක් විතරයි.අම්මා තාත්තා මිය ගියාම ඒ දෙන්නා දරුවොත් එක්ක තිබ්බ බැඳීම අතෑරලා තමයි යන්නෙ.ඒත් දරුවෝ අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න ඕන කියලා හිතනවා.ඒක තමයි බැඳීමේ ප්‍රතිඵලය.ඒක ඒකපාර්ශවීය දෙයක්.මිනිස්සුන්ට මේකෙන් ගැලවෙන්න බැරි මිනිස්සුන්ට මේ ගැන අවබෝධයක් නැතිකම නිසයි.
ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට ජීවිත කාලය තුළ දී ලැබුණු හොඳම ඔවදනක් උපදෙසක් තියෙනවද?
අනිවාර්යෙන්ම තියෙනවා.මමම හොයාගත්ත ඔවදන් උපදෙස් තියෙනවාමගෙ අම්මා තාත්තගෙන් පවා මට හරි අඩුවෙන් උපදෙස් ලැබුණෙ.මොකද අපි එහෙම වැරදි කලේ නෑ.මටම ශක්තියක් තියනවා ඒ දුර්වලතා මෙනෙහි කරලා ඒවා මඟහරවා ගන්න.මට කේන්ති යනවා නම් ඒ කේන්තිය අවසානයේදී මම කල්පනා කරනවා ඇයි මම කේන්ති ගත්තෙ කියලා.මගේ දුර්වලතා දැකලා වෙන කෙනෙක් මට උපදේශයක් දෙන්න කලින් මම මටම උපදේශයක් දෙනවා.බාහිර සමාජයෙන් එහෙම උපදෙස් දෙන්න තරම් මට ලං වෙලා හිටිය කෙනෙක් නෑ.
හැබැයි මට මගේ පැවිදි ජීවිතේදී මගෙ ලොකු හාමුදුරුවො දවසක් කිව්ව දෙයක් මට හොඳට මතකයි,ඒ තමයි පැවිද්දොන්ගෙ ප්‍රශ්න ගැටළු තියනවා නම් ඒවා ගිහියො දැනගත යුතු නෑ කියන එක.ඒ උපදේශය මම පිළිපදිනවා.මගේ දේවල් මමම විඳ දරාගන්නවා.මට දෙයක් ගැන කියලා ඒ ගැන උපදේශයක් ගන්න භික්ෂුවක් හිටියෙ නැත්නම් කිසිම දවසක මම ඒක ගිහි කෙනෙක් එක්ක බෙදාගන්න යන්නෙ නෑ.ඒ උපදේශය ලැබෙන්න කලින් මම මටම උපදෙස් සපයගෙනයි ජීවත් වුණේ.
ඔබවහන්සේ ගිහි ජීවිතයේ මාධ්‍යවේදියෙක්.එක පාරටම මහන වෙනවා කියලා ආයතනයට දැනුම් දුන්නම ලැබුණ ප්‍රතිචාරය මොකක්ද?
කිසිම කෙනෙකුට මම මේ ගැන කිව්වෙ නෑ.මට අද වගේ මතකයි එක දවසක රාත්‍රියක ගත්ත තීරණයක් මේක.ඒක කොරෝනා උත්සන්නම වෙලා තිබුණු කාලයක්.ඒ කාලෙ අපි ඔෆිස් ගියෙත් නෑ.මේ තීරණය ගන්න ඒ නිදහස මට ලොකු උදව්වක් වුණා කල්පනා කරලා මේකට අවශ්‍ය වටපිටාව හදාගන්න.කොහොමත් මම සෑහෙන්න කාලයක් පැවිදි ජීවිතය වෙනුවෙන් පාරමිතා පුරාගෙන ආව කෙනෙක්.මගේ තිබුණ කාර්‍යබහුලත්වය නිසා මට ඒක ටික ටික මගහැරුණා.හැබැයි මම කොහොමහරි ඒ තිරණය ගත්තා.
ඒ වෙලාවෙ ජීවත් වෙලා හිටිය මහරාජා මහත්මයාට මම ඒ තීරණේ කිව්වා.එතුමා මට තාත්තා කෙනෙක් වගේ.මෙ වෙලාවෙ ඉතාමත්ම පිං අනුමෝදම් කරලා මම එතුමාව සිහිපත් කරනවා.මම එදා මේල් එකක් දැම්මා එතුමාට මගේ විස්තරේ කියලා.මම ආයතනයෙන් අයින් වෙන්නෙ මේ කාරණාවට කියලා මම එතුමාට කිව්වා.ඒ මේල් එක මගේ ආයතනයේ කළමනාකරු ට ෆෝවඩ් වෙලා තිබුණා.බොහොම හොඳයි මම ඔබට සුබ පතනවා කියලා එවලා තිබුණා.මම අවුරුදු 15ක් වැඩ කලා ඒ ආයතනයේ.කවුරුත් මේ තීරණේ ගැන හාර හාර අවුස්සන්න ගියේ නෑ.ඒත් මහරාජා මහත්මයා මට කියලා තිබුණා දෙපාරක් හිතන්න කියලා.ඒත් එයා අවසානයේ කියලා තිබුණා,මංජුට මේක කරන්න පුලුවන් කියලා.ඒ කාලෙ මම මංජු.මහරාජා මහත්මයාට තිබුණා මං ගැන විශ්වාසයක්.ඒක මට හයියක් වුණා.
යාලුවො ඇහුවා ඇයි මේ කියලා.එයාලා දුකට පත්වෙලා තිබුණා.ඒත් එයාලගෙ ප්‍රතිචාර මට ලබාගන්න විදියක් තිබුණෙ නෑ.මොකද මම මේල් එක දාපු ගමන් කළේ මගේ ෆෝන් එක ඕෆ් කරපු එක.එතන ඉදන්ම මම කිසිම බැඳීමක් ඇති නොවන විදියටයි කටයුතු කළේ.මම පැවිද්ද ලබාගන්නකම්ම මම ඒ ෆෝන් එක ඔන් කලේ නෑ.තාමත් ෆෝන් එක එහෙමමයි.මම කවදාවත් ඔන් කලේ නෑ.
අම්මා නම් ගොඩක් ඇඬුවා.ගෙදර මළගෙයක් වගේ වුණා.ඒත් එයාලත් පහු කාලීනව එයාලා හිත හදාගත්තා.තේරුම් ගත්තා.
හැබැයි මේක මිනිස්සුන්ට මහා විශාල ප්‍රශ්නයක් වුණා.ඒක රටට ලෝකෙට මේ තරම් ප්‍රශ්නයක් කියලා මම දැනගත්තෙ පහුකාලීනව.මේ ඔස්සේ මිනිස්සු සුබ පතලා,කතාහදලා,වැලපිලා,නොයෙක් දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ යන බව මට මගෙ මල්ලි ,ගෙදර අය කිව්වා සහ පසුකාලීනව මාත් දැක්කා.ඉතිං මේක මට ප්‍රශ්නයක් නොවුණට අනිත් අයට විශාල ප්‍රශ්නයක් කියලා මට දැනුණා.
පිංවත් ස්වාමින්වහන්ස,ගිහි ජීවිතයට සමුදීලා පැවිද්දට එනකොට ජීවිතය කියන දේ හාත්පසින්ම වෙනස් වෙනවා.මේ වෙනසට ඔබවහන්සේ මුහුණ දුන්නෙ කොහොමද?
මට ඒක ලොකු වෙනසක් වුණේ නෑ.මට දුරකතනය ඕන නෑ,පාන්දර නැගිටලා රස්සාවටයන්න ඕන නෑ,මට මාසෙ අන්තිමට පඩියක් ඕන නෑ,මම සරල ජීවිතයකට හුරු වුණා.කොහොමත් දුවේ මම හරිම වෙනස් කෙනෙක්.මට ලොකු හීන නෑ.මම කොහොමත් මුල ඉදන්ම හිටියෙ කසාද බඳින්නෙ නෑ කියන තැන.මොකද මම පැවිද්ද බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක්.ඒ නිසා මට ගෙවල් හදන්න,දරු මල්ලො හදන්න අවශ්‍යතා තිබ්බෙ නෑ.අදටත් මටමයි කියලා ගෙයක් නෑ.මම ගෙයක් හදන්නවත් උත්සාහා කලේ නෑ.මොකද ඒවා මට වැඩක් නැතිදේවල්.මම හම්බකරපු දෙයක් නෑ.මම ලක්ෂ ගණන් පඩි ගත්ත කෙනෙක්.ඒත් ඒ හැම දේකින්ම මම විනෝද වුණා.ඒකෙන් අදහස් කලේ නෑ මම මේ නයිට් ක්ලබ් ගිහින් සල්ලි නාස්ති කරගත්තා කියලා.මම ඒ කාලෙ ඉදන්ම කලේ සල්ලි හම්බුනාම දානමාන දීපු එක.නැති බැරි මිනිස්සුන්ට කන්න දීපු එක,පාරෙ ඉන්න ලමයින්ව KFC Pizza Hut එක්කන් ගිහින් කන්න දීපු එක,නැති බැරි මිනිස්සුන්ව ශොපින් එක්කන් ගිය එක.ඒවා තමයි මගේ විනෝදාංශ.ඒකාලෙ මිනිස්සුන්ට හිතෙන්න ඇති මේ මනුස්සයට පිස්සු කියලා.ඇත්ත,මට එහෙම පිස්සුවක් තිබ්බා.ඒ නිසා මම හම්බකරපු දෙයක් නෑ.අන්තිමට මම ඇඳපු ඇඳුම් පවා මම පිනට දීලා ආවා.මගෙ වාහනය පවා පිනට දුන්නා.ඉතිං මේ ඇඳුම වෙනස් වුණ එක විතරයි වුණේ.නැත්තං මම කොහොමත්ම ගතකළේ හරි සරල ජීවිතයක්.
මේක මම පලවෙනි පාරට මාධ්‍යක් වෙතට කියන්නෙ,මම දන්නවා මම ඉපදෙන හැම ආත්මයකම මම භික්ෂුවක් තමයි කියලා.මිනිස් වෙසකින් මම කලිනුත් ඉපදිලා තියනවා නම් ඒත් මම භික්ෂුවක්.උපදින හැම ආත්මයකම මම කාන්තා පහසක් ලබන්නෙ නැතුව,දරුමල්ලො හදන්නෙ නැතුව, මගේ ඒකායන ප්‍රාර්තනාව තමයි මේ බුද්ධ ශාසනය පවතිනා තුරාවට මිනිස් ආත්මයක් ලැබුනෝතින් පැවිද්දම ලබා ගන්න එක.
අපේ හාමුදුරුවනේ බුදු දහම කියන්නෙ කෙටියෙන්ම මොකක්ද?
එක දෙයයි කියන්නෙ තියෙන්නෙ.බුදු දහම කියන්නෙ සතුටින්ම පිරිච්ච මහා දිය සාගරයක් වගේ දෙයක්.ඒක විලක් නම් ඒ විල පුරාම තියෙන්නෙ නෙලුම් මල්.ඒත් මේ ආගම තුළ ඉන්න සමහර මිනිස්සුම මේ ආගම දුකට බර වෙච්ච ආගමක් කියලා හිතනවා.එයාලා හිතන්නෙ බුදු හාමුදුරුවො කතා කරන්නෙ දුක ගැන විතරමයි කියලා.එහෙම දෙයක් නෙමෙයි බුදු දහම කියන්නෙ,බුදුදහම කියන්නෙ පරම පිවිතුරු සතුට වැඩිම තැනකට.
මෑතකදි මම දැක්කා ප්‍රසිද්ද ගුරුවරයෙක් බුදු දහමෙ කියන්නෙ දුක ගැනමයි කිය කිය කියනවා.ඒ අය මිත්‍යා දුෂ්ඨිකයො.බුදු හාමුදුරුවො අපිට කියලා නෑ කිසිම දෙයක් විඳින්න එපා කියලා.අපට කිසි දෙයක් අත හරින්න කියලා අපිට කියලා නෑ.හැමදේකම ආදීනව දැනගෙන ජීවත් වෙන්න කියලයි බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ.මේවා අපිට අහිමි වුනොතින් ජීවිතය අහිමි වුණා කියලා හිතන්න එපා,අහිමි වන වව දැනගෙන ජීවත් වෙන්න..
බුදු හාමුදුරුවන්ගෙ කාලයේ හිටියා මහාරජවරු,බුදුහාමුදුරුවො කිව්වෙ නෑ එයාලට,රජකම අතහරින්න කියලා..බුදු හාමුදුරුවො දන්නවා රජ වෙන්න තියෙන්න ඕන විශාල පිනක්.බුදුන් දේශනා කළ ධර්මය අවබෝධ කරගන්න අපිට තියන්න ඕන විශාල ප්‍රඥාවක්.බුදු දහම තේරුම් ගන්න නම් ගැඹුරු නැති තැනේ ඉඳලා ටික ටික ඉස්සරහට බැහැලායන්න.බුදු දහම කියලා කියන්නෙ හරිම සරල හේතුඵල දහමක්.යම් කෙනෙක්ගෙ දර්ශනයක්.
ඒ හේතුඵල දහම තේරුම් ගන්න පිනක් අවශ්‍යයි.ඔබ වහන්සේත් මේ උතුම් පැවිදි දිවියට එලඹෙන්නෙ ඒ ගැඹුරු අවබෝධය අතැතිව.ඔබවහන්සේගේ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු බලාපොරොත්තු මොනවාද..?
මගේ මුළු සංසාරෙ පුරාවටම තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි.මට නිවන් යන්න ඕන.මේ ආත්මෙ බැරි වුනෝතින් ඊළඟ ආත්මෙ හරි මට ආයෙත් ඉපදෙන්නෙ නැතිවෙන්න නිවන් දකින්න ඕන.ඒක ලේසි දෙයක් නෙමෙයි,ඒකට පාරමිතාවක් තියනවා..නිවන් දකින්න අපිට මහා පිනක් තියෙන්න ඕන.මට අවශ්‍යයි පිරිණිවන් පාන්න.මම මේ ජීවිතේ ඉදන්ම පාරමිතාවක් පුරනවා.
අනිත් දේ තමයි මේ බුද්ධ ශාසනයට මගේ අතින් යම් දෙයක් වියයුතුයි,මම ඒක මගේ ගතට ශක්තියක් තියන කාලෙ කරන්න ඕන.ඉතිං මා ශාසනය වෙනුවෙන් ආරාම්ස් පූජාවක් කරනවා.ඒක දුර්ලභ අවස්තාවක්.ශ්‍රම දායකත්වය,මුදල් උපකාර ඇතිව මම මේ වෙනකොට අලව්වෙ තරුණ බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකරගෙන යනවා.මේක තමයි ලංකාවෙ ඉදිවෙන පළමු තරුණ ආරාමය.තරුණ කාලෙ පීඩනයට පත්වෙලා තියන හිත් සුවපත් කරන්නයි මට අවශ්‍ය.ඒ වෙනුවෙන් මට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දරුවන්ගෙ සහය ලැබෙනවා.ගමේ,රටේ ලෝකෙ මිනිස්සුන්ගෙ සහය නට ලැබෙනවා.මේවා මට කරගන්න දේවල් නෙමෙයි.මේවා බුද්ධ ශාසනයට ඉතුරු වෙන දේවල්.මම ගෞරවයෙන් ගැම කෙනෙක්ටම ආරාධන කරනවා මේ හා එක්වන ලෙසට.මොකද මේක සම්බුද්ධ ශාසනයේ මහා පින්බර වැඩකටයුත්තක්.උතුම් බලාපොරොත්තුවක්..
සංවාදය- සචිනි සත්සරණි ප්‍රේමරත්න