ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම නියෝගය ලබන 21 දක්වා බල පැවැත්වෙන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව එහි මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරින් ඉවත් කළ බවයි.
ඉන් පසුව එම ධුරයේ වැඩ බැලීම සඳහා සාරති දුෂ්මන්ත මිත්‍රපාල පත් කල බවත් පැමිණිල්ලේ සඳහන් වෙනවා.
පසුව දයාසිරි ජයසේකරට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කොට කරුණු විමසීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන්.
එසේ තිබිය දී දයාසිරි ජයසේකර විසින් වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබෙනවා.
ඒ, අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.














