දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් පිළිබඳව තිහගොඩ පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකළ දැනුම්දීමකට අනුව අපරැක්ක අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් විසින් මෙම මෝටර් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
අදාළ මෝටර් රථය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළුවී මත්තල දෙසට පැමිණ ඇති බවට වන සාක්ෂියක් ලෙස මෝටර් රථය තුළ තිබී ටිකට්පක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ ළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංකයටම
රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ද මෝටර් රථයක් ඇති බවයි.
රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයා සතු මෝටර් රථයේ සහ මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංක සමාන වුවත් එන්ජින් අංකය වෙනස් බවයි වැඩිදුරටත් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
අතහැර දමා ගොස් තිබූ මෝටර් රථයේ දොරගුළු විවෘත කර සිදුකළ පරීක්ෂණවලදී ඉදිරිපස රියදුරු අසුනට යාබද අසුනේ දිනපොතක් සහ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නමක් සඳහන් සහතික පත්‍රයක් ද තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.
සොයාගත් දිනපොත තුළ තිබී හැඳුනුම්පතක ඡායාපිටපතක් අනුව සිදුකළ විමර්ශනවල දී පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමක් සහ ලිපිනයක් සඳහන්ව තිබූ බවත්, ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමේ දී එම පුද්ගලයා ඊයේ (25) පෙරවරුවේ නිවසින් පිටව ගොස් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.













