මීටියාගොඩ පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටි විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, එම අවියට යොදනු ලබන පතරොම් 06 ක් හෙරොයින් ග්‍රෑම් 13 මිලි ග්‍රෑම් 900 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු හා හෙරොයින් ග්‍රෑම් 14යි මිලි ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 2025.11.17 වන දින මීටියාගොඩ පොලිස් වසමේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධව එම වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු වන සැකකරු සහ එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු බවටත් දැනට සිදුකරන විමර්ශනය අනුව අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඊට අමතරව එම නිවසේ සිටියදීම හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු සහ හෙරොයින් ග්‍රෑම 10 මිලි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම එක් සැකකරුවෙකු 2025.05.03 වන දින මීටියාගොඩ එරණවිල ප්‍රදේශයේ දී ගිනි අවි දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු බවයි අනාවරණය ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 22, 23, 28 හා 34 වයස්වල පසුවන මිටියාගොඩ සහ මාදම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම සැකකරුවන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කරන්දෙණිය සුද්දාගේ සහෝදරයෙකුට අයත් මීටියාගොඩ පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක මෙලෙස සැඟව සිටිමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා සැලසුම් කර ඇති බවටත් දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.













