2026 වර්ෂයේ යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 6,000 ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති අතර, එම මුදල යොදා ගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා.
එහෙත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්කවල සහ මහවැලි B, C හා H කලාපවල වී අස්වනු තවමත් නෙළා අවසන්ව නොමැති බැවින්, එම ප්‍රදේශයන්හි වී මිල දී ගැනීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එබැවින්, 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500 ක අමතර ප්‍රතිපාදන වලින් තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල්, ප්‍රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙතලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.













