ශ්‍රී ලංකාව පරාජය කරමින්, හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අටවන වරටත් කාන්තා ආසියානු කුසලානය දිනාගැනීමට ඊයේ (13) රාත්‍රියේ සමත් වුණා.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පරදා ඉන්දීය කණ්ඩායම ජයගත්තේ ලකුණු 72කින්.
මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහට දුන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 183ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
අනතුරුව ලකුණු 184ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.
ඒ, අනුව පසුගියවර ආසියානු ශුරියන් වූ ශ්‍රී ලංකාව පරදා 2026 ආසියානු කුසලානය තමන් සතුකර ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට ඊයේ හැකියාව ලැබුණා.
මේ අතර අඛණ්ඩව දෙවන වසරටත්, ඩුබායි හි පැවති ආසියානු කුසලාන අවසන් තරගයකදී කුසලානය සම්බන්ධ මතභේදාත්මක සිදුවීමක් වාර්තා වීම මේ වනවිටත් ක්‍රිකට් ලෝකයේ කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
මෙහිදී ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් වත්මන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වය දරණ, පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන මොහ්සින් නක්විගේ අතින් කුසලානය හා පදක්කම් ලබාගැනීම ප්‍රතික්ෂේප කර සිටියා.
මෙම මතභේදයත් සමඟ අවසන් තරගය ඊයේ (13) රාත්‍රී 11:20ට අවසන් වූ නමුත්, තරගයෙන් පසු පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය ආරම්භ වූයේ පසුදින එනම් අද (14) දින අලුයම 12:05ට පමණයි.
ප්‍රමාද වී ආරම්භ වූ ත්‍යාග ප්‍රදානෝත්සවය, ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් විසින් තරගයේ නිලධාරීන් සහ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම වේදිකාවට කැඳවීමෙන් ආරම්භ කරනු ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම නක්වි අතින් අනුශූරතාව සඳහා වන චෙක්පත ලබා ගත් අතර, සියලුම ක්‍රීඩිකාවන් සහ සහායක කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්කාලීන ප්‍රධානී එරාන් වික්‍රමරත්න අතින් ඔවුන්ගේ පදක්කම් ලබා ගත්තා.
ඉන්පසු, ඉන්දීය කණ්ඩායම වේදිකාවට පැමිණීමේ වාරය එළැඹ ඇතැයි සියලු දෙනා සිතා සිටියදී, මහරුෆ් හදිසියේම ප්‍රකාශ කළේ තරගයෙන් පසු පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය අවසන් බවයි.
ක්‍රීඩාංගණයේ අනෙක් පස, ඉන්දීය කණ්ඩායම අවසන් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ක්‍රීඩිකාවන් එකට එක්වී කණ්ඩායම් සාකච්ඡාවක නිරත වෙමින් සිටි අතර, එහිදී BCCI උප සභාපති රාජීව් ශුක්ලා සහ ලේකම් දේවාජිත් සයිකියා ද පැමිණ සිටියා.
සයිකියා සහ ශුක්ලා විසින් ‘හොඳම පන්දු රකින්නිය සඳහා වන පදක්කම නන්දනි ෂර්මාට පිරිනැමූ අතර, සයිකියා ක්‍රීඩිකාවන් අමතා ඔවුන්ට සුබ පැතුම් ද එක් කළා.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට සම්මානය පිරිනැමීමෙන් පසු මොහ්සින් නක්වි වහාම ක්‍රීඩාංගණයෙන් පිටව ගිය නමුත්, පසුගිය වසරේ මෙන් නොව මෙවර ඔහු කුසලානය රැගෙන නොගොස් පිටව ගියා.
කෙසේ වෙතත් වත්මන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා අතින් කුසලානය ලබා නොගත් ඉන්දීය ක්‍රීඩිකාවන් කුසලානය නොමැතිව සිය ජය සැමරීම සිදුකරන ආකාරය දැකගත හැකි වුණා.
මේ අතර මීට පෙර ද 2025 සැප්තැම්බර් 28 වන දින ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පිරිමි ආසියානු කුසලාන අවසන් තරගයේදී ඉන්දියාව විසින් පාකිස්තානය පරාජය කළ අවස්ථාවේ දී ද ඉන්දීය කණ්ඩායම වත්මන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් ජයග්‍රාහී කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කළා.













