මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතන කීපයක් පවතින ක්‍රමවේදයට සම්පූර්ණයෙන් පටහැනිව නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනයකර බෙදාහැරීම හේතුවෙන් රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම රුපියල් බිලියන 150 කට අධික බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසනවා.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළ එම සංගමයේ සභාපති අජිත් උඩුගම සඳහන් කළේ ඒ අනුව දළ වශයෙන් දිනකට රජයට අයවිය යුතු බදු මුදල් රුපියල් මිලියන 500ක් පමණ අහිමිවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ
මේ ආකාරයෙන් නීති විරෝධීව නිපදවන මත්පැන් නිෂ්පාදන දෛනිකව විශාල ප්‍රමාණයක් වෙළඳපලට පැමිණෙමින් තිබිය දී එම බදු මුදල් අයකර ගැනීමට නිසික්‍රමවේදයක් සකස් නොකරන මුදල් අමාත්‍යාංශය පසුගියදා මත්පැන් බලපත්‍ර මිල සියයට තුන්දහස් තුන්සියයකින් වැඩි කළ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
“මුදල් අමාත්‍යාංශය සුරා බදු දෙපාර්තමේන්තුවෙන් වසරකට රුපියල් බිලියන 217ක මුදලක් තමයි ආදායම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පසුගිය වසරේ ආදායම වුණේ රුපියල් බිලියන 171යි. මේ ආදායම වැඩිකරගන්න විදිහ අපි සුරා බදු දෙපාර්තමේන්තුවට යෝජනා වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පෙර තිබූ පරිදි අලෙවිය මත ආදායම අයකර ගැනීමේ ක්‍රමය, බදු නොගෙවා නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් සහ රා සදහා බදු අයකර ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළොත් අපේ බලපත්‍ර ගාස්තු වැඩි නොකර විශාල මුදලක් වාර්ෂිකව හොයන්න පුළුවන්. අපි මේ පිළිබඳව තොරතුරු සියල්ල ලබාදුන්නත් සුරා බදු දෙපාර්තමේන්තුව ඒ සඳහා කිසිම උනන්දුවක් නෑ. ඇතැම් සුරාබදු නිලධාරීන් මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ආයතන සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා කියලා අපි දන්නවා. නමුත් රජයට වාර්ෂිකව අහිමිවන රුපියල් බිලියන 150ක් මුදල අයකර ගන්න වැඩපිළිවෙලක් සකස් කරගන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා. මේ නීති විරෝධීව නිෂ්පාදනය කරන රා ඇතුළු මත්පැන් නියමිත ප්‍රමිතියට නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා කාරක පවා ඒ සඳහා යොදනවා. මේවා මිනිස් ශරීරයට සෞඛ්‍යට ඉතාමත් අහිතකරයි. ඒත් මේවා නවත්තන්න වගකිවයුත්තන්ට උනන්දුවක් නෑ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වන විට බලපත්‍ර සහිත මත්පැන් අලෙවිය සියයට පනහකටත් වඩා ඉතාමත් පහත වැටිලා තියෙන්නේ. දිනෙන් දින අසාමාන්‍ය විදියට බදු අයකරන නිසා මත්පැන් මිල සාමාන්‍ය ජනතාවට දරන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. හැබැයි නීති විරෝධී මත්පැන් භාවිතය ඉතාමත් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා. තව ටික කලකින් මේක අපේ රටේ සෞඛ්‍ය අංශවලටත් දරාගන්න බැරි තරම් ගැටලුවක් වෙන එක නම් අනිවාර්යයි”













