මාලිමා මන්ත්‍රී සුගත් වසන්තට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ‘2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය’ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා හිමිකර ගනී

පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ‘නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය’ (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් වුණා.

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) මගින් සංවිධානය කරනු ලබන “වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී” ඇගයීම් යටතේ පැවැත්වෙන මෙම සම්මානය සඳහා සුගත් වසන්ත ද සිල්වා ව නාමයෝජනා කරන ලද්දේ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) ශ්‍රී ලංකා ශාඛාව විසින්.

2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වා , ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාවේ (Parliamentary Caucus for Persons with Disabilities) සභාපතිවරයා ලෙස පත්වෙමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සංඥා භාෂා පිළිගැනීම, ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් සහ ව්‍යවස්ථාපිත සංශෝධන උදෙසා කැපී පෙනෙන නායකත්වයක් ලබා දී තිබෙනවා.

විශේෂයෙන්ම, 2026 ජාතික අයවැය යටතේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වෙන්වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ 25කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමාලෝචන පවත්වමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වගවීම තහවුරු කිරීමට එතුමා කටයුතු කළා.

ඊට අමතරව කිලිනොච්චිය, මුලතිව්, මඩකලපුව සහ කළුතර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් බිම් මට්ටමේ මහජන සාකච්ඡා පවත්වමින් ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීමටත්, කම්කරු හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ සමඟ එක්ව නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් ප්‍රතිපත්තිමය නීති රාමු සකස් කිරීමටත් එතුමා මුලපිරුවා.

තවද, ප්‍රවේශ්‍යතා විගණන (accessibility audits) සිදු කළ හැකි තරුණ හා ආබාධ සහිත ප්‍රජා නියෝජිතයින්ගෙන් සැදුම්ලත් පුහුණු කණ්ඩායමක් ජාතික මට්ටමින් ගොඩනැගීමට ද එතුමාගේ නායකත්වය හිමි වුණා.

අම්බලන්ගොඩ කන්දෙගොඩ කනිටු විදුහලෙන් සහ වතුගෙදර සිරි අබේතිස්ස කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඒ මහතා, දෘෂ්‍යාබාධිත වීමෙන් පසු රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත්ව බ්‍රේල් අකුරු ඇතුළු විශේෂ අධ්‍යාපනය ලැබීය. අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ එතුමා, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගැනීමට සමත් වුණා.

කෙටි කාලයක් තුළ මහජන නියෝජනය සහ පාර්ලිමේන්තු නායකත්වය ප්‍රායෝගික රාජ්‍ය පාලන ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමට එතුමා දැක්වූ කුසලතාව මෙම සම්මානය හරහා ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත. 2026 සැප්තැම්බර් මස 17 වන දින දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවැත්වුණු 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී (69th Commonwealth Parliamentary Conference) මෙම සම්මානය එතුමා වෙත නිල වශයෙන් පිරිනමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00