විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයට අයත් වනාතවිල්ලුව, පරණ එළුවක්කුලම නෙළුම් වැව් පරිශ්‍රයේ පිහිටි කුඹුක් ගස් ගිනිගෙන විනාශ වීමේ සිදුවීම පිළිබඳව කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ උපදෙස් පරිදි පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත දන්වා තිබෙනවා.
සංවේදී පරිසර පද්ධතියක පිහිටි ජල මූලාශ්‍ර රැකදෙන මෙවැනි ස්වාභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියටම එල්ල වන බරපතළ තර්ජනයක් බැවින් මෙම සිදුවීම කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ උපරිම දඬුවම් පැමිණවීමට පියවර ගැනීම සදහා කටයුතු කර තිබෙනවා.
වනජීවී හා වන සංරක්ෂණ ආඥාපනත් මෙන්ම ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව, මෙරට සංවේදී පරිසර කලාප හා ජල පෝෂක ප්‍රදේශ විනාශ කරන ඕනෑම ක්‍රියාවකට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය කිසිදු පැකිළීමකින් තොරව කටයුතු කරනු ලබනවා.
මීට අදාළව වාර්මාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිද්ධිය වූ ස්ථානය ඒකාබද්ධ පරීක්ෂණයක් අද (18) එම ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි.













