2010 වසරේ පොලිස් පරීක්ෂක තනතුරු සඳහා උසස්වීම් පිරිනැමීමේදී ඕපනායක පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර කමලනාත් කොඩිත්තුවක්කු මහතා එම ධුරයට උසස් නොකිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2010 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක ධුරයට අදාළව ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් සහ නීත්‍යානුකූලව හිමිවිය යුතු සියලු දීමනා ලබාදීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමට අද (21) නියෝග කළා.
2010 වසරේ පොලිස් පරීක්ෂක තනතුරු උසස් වීම් පිරිනැමීමේ දී තමන්ට එම උසස්වීම් නොලැබුණු බවට චෝදනා කරමින් උප පොලිස් පරීක්ෂක කමලනාත් කොඩිත්තුවක්කු මහතා ගොනු කළ පෙත්සමක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූවා.
2010 වසරේ පෙබරවාරි මස 08 වන දා උප පොලිස් පරීක්ෂකවරු පිරිසක් පොලිස් පරීක්‍ෂක ධූරයට උසස් කළ බවත් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට එම උසස් වීම නොලැබුණු බවත් පෙත්සම්කරු කියා තිබේ. තමාට එරෙහිව අල්ලස් නඩුවක් පැවැති බවත් එම නඩුවේ සියලු චෝදනාවලින් තමා නිදොස් කොට නිදහස් කෙරුණු බවත් පෙත්සම්කරු සඳහන් කර තිබුණා.
ඉන් අනතුරුව 2019 වසරේ ජූලි මස 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි තමන්ව පොලිස් පරීක්ෂක ධුරයට උසස් කෙරුණ ද එම උසස් වීම 2010 වසරේ සිට බලාත්මක කිරීම වගඋත්තරකරුවන් ප්‍රතික්ෂේප කළ බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාල පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා.
දීර්ඝ විභාගයකින් අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ උසස් වීම පෙත්සම්කරුට ලබා නොදීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අධිකරණයට පෙනී යන බවයි.
ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලය පිරිස් මහතා පෙනී සිටි අතර වග උත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක මහතා පෙනී සිටියා.













