දින 350කින් හෙරොයින්, අයිස් සහ කොකේන් කිලෝ 6000ක් අල්ලලා

රටම එකට ජාතික මෙහෙයුමට අදාලව ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි මේ දක්වා සමස්ථ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාව අනුව, පොලිසිය විසින් රටම එකට ජාතික මෙහෙයුමේ ආරම්භක දිනය වූ පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා සමස්ත වැටලීම් 300,569ක් සිදුකර තිබෙනවා.

එම වැටලීම්වලින් සැකකරුවන් 299,775 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇති බවයි වාර්තාවේ සඳහන් වුණේ.

එමෙන්ම මේ දක්වා එම මෙහෙයුමට අදාළව පොලිසිය විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 2483යි ග්‍රෑම් 588ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3299යි ග්‍රෑම් 219ක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්.

තවද කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 296ක් සහ ග්‍රෑම් 751ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.