පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරනවා.
නියෝජ්ය කතානායක වෛද්ය රිස්වි සාලිගේ ප්රධානත්වයෙන් අද (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන් කර තිබෙනවා.
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර ඇත්තේ.
මේ අනුව, ඔක්තෝබර් 20 අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
ඔක්තෝබර් 21 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව, ප.ව 5.00 ට ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට තීරණය වී තිබෙනවා.
ඉන්පසු, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.
ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ/
අනතුරුව, ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඔක්තෝබර් 23 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත් වෙනවා.
අනතුරුව, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
