ඥානසාර හිමි නිදහස් කරන තුරු භික්ෂූන් වහන්සේලා විහාර මහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයක

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් බැහැරව බුද්ධශාසන අමාත්‍යාංශය වෙත වැඩම කරනු ලැබුවා.

බුද්ධශාසන අමාත්‍යාංශය වෙත වැඩම කළ එම භික්ෂූන් වහන්සේලාගෙන් භික්ෂූන් වහන්සේලා සිව්නමක් සඳහා සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි වුණා.

එම සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත් අදහස් දැක්වූ බලන්ගොඩ කස්සප හිමියන් සදහන් කළේ, ඥානසාර හිමියන්ට නිහා හිමිවන තුරු කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටිමින් සත්‍යග්‍රහයේ නිරතවන බවයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ පසුගිය 10වනදා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරුණා.

එම පා ගමනට එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වෙමින් රැඳී සිටීමට තීරණය කළා.

ඒ, අනුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ රැය පහන් කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි එම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස නොයෝගයක් පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදී තිබුණා.

එලෙස ලබාගත් නියෝගය පොලිසිය විසින් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත කියවා භාරදීමට කටයුතු කරනු ලැබුවා.

ඉන් අනතුරුව විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා, එහි ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් ඉවත්කරගෙන ජනධිපති ලේකම් කාර්යාල අසලින් ඉවත්ව පා ගමනින් බුද්ධශාසන අමාත්‍යාංශය වෙත පැමිණියා.