මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් ‘මුරලි’ යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය සිදු කෙරුණා.
මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ අද විභාගයට ගනු ලැබුවා.
මෙම නඩුවේ හතරවෙනි සාක්ෂිකරු වන සුරේෂ් කුමාර සුමතිපාල විසින් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.
එමෙන්ම සාක්ෂි අංක 53 විමර්ශන නිලධාරී ප්රේමරත්න සහ අංක 90 සුරේෂ් සලේ යන අයගේ සාක්ෂි කැඳවීමට නොතීසි ද නිකුත් කළ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ ආරක්ෂකවක් මැද සුරේෂ් සලේ අධිකරණයට රැගෙන එනු ලැබුවා.
ඒ, අනුව සාක්ෂි කරුවෙකු ලෙස සුරේෂ් සලේ ද සාක්ෂි ලබා දුන්නා.
එහිදි සුරේෂ් සලේ මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට කැමැත්ත පල කළ අතර, සාක්ෂි මෙහෙය වීම නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සිදුකළා.
එහිදි යුද හමුදාවේ නීතිය සම්බන්ධයෙන් සහ හමුදා බුද්ධි අංශයේ විවිධ ලේඛන සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන් සාක්ෂි විමසීම සිදුකළ අතර, ඔහු මීටපෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් කට උත්තර සම්බන්ධයෙන් ද ප්රශ්න කෙරුණා.
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයක දී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණින් මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
නඩුව යළි ලබන 22 කැදවීමට නියමිතයි.
