උතුරු හා නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අක්කර ලක්ෂ 2කට ආසන්න ඉඩම් ප්රමාණයක් නිදහස් කිරීම සඳහා වන නිර්දේශ කඩිනමින් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි ප්රකාශ කළා.
මෙම නිවේදනය පිළිගත් උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන්, ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපායන් යළි ලබාදීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළා.
උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින සීමා හේතුවෙන් ඇති වී තිබෙන ගැටලු, සංවර්ධන කටයුතුවල පවතින බාධා සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩිගේ සහභාගිත්වයෙන් අද (16) සිකුරාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
සාකච්ඡාවේ ආරම්භක අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, 2012 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් ඉඩම් අතර ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපාය සඳහා භාවිත කරන ඉඩම් ද ඇතුළත් වී ඇති බව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ජනතාව තමන්ට අසාධාරණයක් සිදු කර ඇති බව සලකන බව ද ඔහු සඳහන් කළා.
1984 වසරේ පමණ තමන්ගේම ස්ථානවලින් අවතැන් වූ ජනතාවට අද වනතුරුත් තම ඉඩම්වලට ආපසු යාමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, මෙම ඉඩම් ගැටලු හේතුවෙන් සංවර්ධන හා ප්රතිසංස්කරණ කටයුතු පවා සිදු කිරීමේදී විශාල බාධා පවතින බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කරනු ලැබුවා.
එබැවින් අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවට දිස්ත්රික් ලේකම් කාර්යාල මගින් නිර්දේශ කර ඇති ඉඩම් හෝ කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියා.
මෙහිදී උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂවරයා, කෞතාරිමුනෙයි මාර්ගය සහ ඌර්කාවට්තුරෙයි කන්නගි අම්මාන් ගොඩබෑමේ ස්ථානය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අවසර ලබාගැනීමේදී මුහුණ දෙන ගැටලු පැහැදිලි කළේය. අවශ්ය අවසර ලබාගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාල හරහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා අවසර කඩිනමින් ලබාදිය යුතු බවත් ඔහු ඉල්ලා සිටියා.
ඊට පිළිතුරු දෙමින් පරිසර අමාත්යවරයා, රජය සංවර්ධනයට විරුද්ධ නොවන බව සඳහන් කළේය. කෙසේ වෙතත්, සෑම ව්යාපෘතියක් සඳහාම අදාළ ක්රියාපටිපාටි අනුගමනය කිරීම අත්යවශ්ය බව ඔහු පැවසුවා.
ව්යාපෘති සැලසුම් කිරීමේ ආරම්භක අවස්ථාවේදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වන අවස්ථාවලදී ඒවායේ අවසර ඉල්ලා සිටිය යුතු බව ද ඔහු උපදෙස් දුන්නා.
වැව් හා ගංගා මාර්ග සම්බන්ධ බාධා විසඳීමට පියවර
කල්මඩු වැව, වන්නේරි වැව, කුඩමුරුට්ටි වැව සහ දේවන්පිට්ටි වැව යන වැව්වල නඩත්තු, ප්රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු සඳහා අවසර ලබාගැනීමේදී පවතින බාධා සම්බන්ධයෙන් උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා කරුණු පැහැදිලි කළා.
වැව් බැමි උසස් කිරීම වැනි කටයුතු සඳහා පවා මාස ගණනාවක් ගත වුවද අවසර ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව අමාත්යවරයා අදාළ නිලධාරියා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සාකච්ඡා කළ අතර, සතියක් ඇතුළත තීරණයක් දැනුම් දෙන බව ප්රකාශ කළා.
නඩත්තු කටයුතු සිදු කිරීමේදී අවසර ලබාදී ඇති සීමාවන් ඉක්මවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින ප්රදේශවල කටයුතු සිදු කිරීම හේතුවෙන් ඇතැම් ගැටලු ඇති වී තිබෙන බව නිලධාරීහු පැහැදිලි කළා.
ඉන් අනතුරුව, අනාගතයේදී මෙවැනි කටයුතු ආරම්භ කිරීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම, අදාළ දෙපාර්තමේන්තු එක්ව අධීක්ෂණය කිරීම සහ හදිසි නඩත්තු කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කිරීම සඳහා ක්රමවේද සකස් කරන ලෙස අමාත්යවරයා උපදෙස් දුන්නේය. මේ සඳහා අදාළ සියලු පාර්ශ්ව ඇතුළත් WhatsApp කණ්ඩායමක් පිහිටුවීමට ද ඔහු යෝජනා කළා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව්වල මායිම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව අදාළ දෙපාර්තමේන්තු ඇතුළත් කමිටුවක් පත් කිරීමට ද අමාත්යවරයා උපදෙස් දුන්නා.
තවද, ගංගා හරහා වැටී ඇති ගස් ඉවත් කර ජලය ගලායන මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවසර ලබාගැනීමේදී පවතින බාධා සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. පසුගිය ඩිට්වා ආපදා තත්ත්වය අතරතුර ගංගාවල ජලය ගලායාමට ඇති වූ බාධා හේතුවෙන් ඇතැම් ගම්මාන ජලයෙන් යට වූ බව පෙන්වා දෙන ලදී. මෙවැනි කටයුතු සඳහා අවසර කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අමාත්යවරයා ප්රකාශ කළා.
සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්ය ධම්මික පටබැඳි, 2012 වසරේදී ගෝලීය ස්ථාන නිර්ණය කිරීමේ තාක්ෂණය (GPS) භාවිත කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල විශාල ඉඩම් ප්රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන ඇති බව සඳහන් කළේය. එම ඉඩම් අතර රෝහල්, රජයේ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සහ පෞද්ගලික ඉඩම් ද ඇතුළත් වී ඇති බව ඔහු පැවසුවා.
මෙම ඉඩම් හඳුනාගෙන නිදහස් කිරීම සඳහා 2025 වසරේදී අමාත්ය මණ්ඩල අනුමැතිය ඇතිව කමිටුවක් පත් කර තිබූ බවත්, එම කමිටුවට මාස හයක කාලයක් ලබාදී තිබුණද වසරක් ගතවී තිබියදීත් අවසන් වාර්තාව අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය. ඇතැම් නිලධාරීන්ගෙන් ප්රමාණවත් සහයෝගයක් නොලැබීම හේතුවෙන් මෙම ක්රියාවලිය සම්පූර්ණ කිරීම ප්රමාද වී ඇති බව ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, අධ්යයන කටයුතු අවසන් කර නිදහස් කිරීමට නිර්දේශ කර ඇති ඉඩම් පවා මෙතෙක් නිදහස් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අමාත්යවරයා පෙන්වා දුන්නේය. උතුරු හා නැගෙනහිර පළාත්වලින් අක්කර ලක්ෂ 2කට ආසන්න ඉඩම් ප්රමාණයක් නිදහස් කිරීම සඳහා වන නිර්දේශ කඩිනමින් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර, එහි අනුමැතිය ඇතිව ඉඩම් නිදහස් කිරීම සඳහා පියවර ගන්නා බව ඔහු ප්රකාශ කළා.
උතුරු පළාතේ පශු සම්පත් සඳහා අවශ්ය තෘණ භූමි ද නිදහස් කළ යුතු ඉඩම් අතරට හඳුනාගත යුතු බව අමාත්යවරයා සඳහන් කර සිටියා.
ජනතාවගේ වාසස්ථාන, ජීවනෝපායන් සහ සංවර්ධන අවශ්යතා සම්බන්ධ ගැටලු විසඳීම සඳහාත්, දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අවශ්ය පියවර ගැනීමේ වැදගත්කම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.
මෙම සාකච්ඡාවට ආණ්ඩුකාරවරයාගේ ලේකම්, පළාත් අධ්යක්ෂවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරුන්, දිස්ත්රික් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
