කොළඹ වරායේ නාවික සේවා සහ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක් ලබාදීමට කටයුතු කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
වරාය නියමු නාවික මධ්යස්ථානය වෙත පැමිණි තානාපතිවරයා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක සහ ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක විසින් පිළිගනු ලැබුවා.
අනතුරුව නියමු නාවික මධ්යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ තානාපතිවරයා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ECT) පරිපාලන ගොඩනැගිලි පරිශ්රයේ පැවති විශේෂ මාධ්ය හමුවකට ද සහභාගී වුණා.
එහිදී අදහස් දක්වමින් ඇමරිකානු තානාපතිවරයා සඳහන් කළේ, ඇමරිකානු තාක්ෂණය කොළඹ වරායේ මෙහෙයුම් සඳහා හඳුන්වාදීම තුළින් භාණ්ඩ ප්රවාහන කටයුතු වේගවත් කිරීමටත්, වෙළෙඳ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි වන බවයි. එමඟින් ශ්රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයන් ශක්තිමත් කිරීමට ද දායකත්වයක් සැපයෙන බව ඔහු පැවසුවා.
කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාව තුළින් ගෝලීය වෙළෙඳාම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වරාය ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබාගැනීමට හැකි වූ බව ද තානාපතිවරයා සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය අනුර කරුණාතිලක මහතා, මෙම මූල්ය ප්රදානය ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකානු රජයට සහ ජනතාවට ශ්රී ලංකා රජයේ කෘතඥතාව පළ කළා.
මෙම ප්රදානය නාවික තනි කවුළු පද්ධතිය (Maritime Single Window) ස්ථාපිත කිරීම සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බව අමාත්යවරයා පැවසුවා.
ඒ හරහා වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළා.
ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා සඳහන් කළේ, මෙම වසරේදී බහාලුම් මිලියන 9ක් මෙහෙයවීමට කොළඹ වරාය අපේක්ෂා කරන බවයි.
ඉන් සියයට 80ක් පමණ ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් වන බව ද ඔහු පැවසුවා.
ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් මෙහෙයුම් හරහා ගෝලීය වෙළෙඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 250 ඉක්මවන බව ද සභාපතිවරයා සඳහන් කළේය. එය ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ද සැලකිය යුතු දායකත්වයක් බව ඔහු පෙන්වා දුන්නා.
තවද, වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් පද්ධති හඳුන්වාදීමේ වැදගත්කම ද සභාපතිවරයා අවධාරණය කළා.
