මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
මෙම මෝසම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පු නිසා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවකු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ මෝසම සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා කැඳවන ලෙස නියෝග කළා.
විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.
එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය ප්‍රකාරව එකම පක්ෂයක විවිධ ශාඛා වෙන් වෙන්ව දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කිරීම මැතිවරණ නීති රීතීන්ට පටහැනි බවත් ඒ තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන අයිතිය උල්ලංඝනය වන අතර එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අදාළ මෝසමේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු මහතා එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.













